අභිමානයෙන් පෝෂණය වීමට මිනිසාට ඇති අයිතිය මානව හිමිකමක් ලෙස සලකන ලෝකයක සිට හාල් ප්‍රශ්නය මත්තේ රටේ කාලය නාස්ති කිරීමට අපට සිදුව ඇත්තේය. හාල් මිල උච්චාවචනය විය යුත්තේ ද නූතන සමාජයේ මිල න්‍යාය අනුවය. ඉල්ලුම සහ සැපයුම යන දෙක අනුව යම් මිලක් ඉහළ පහළ යන්නේ නම්, ඒ සඳහා වූ පිළියම් කතිකා කර ගත හැකිය. විද්‍යාත්මක ප්‍රවේශයක් අනුව ඒ උදෙසා කටයුතු කළ හැකිය. තියරියේ එහෙම ඉගැන්වූ පළියට ධනවාදය නීති, රීති, න්‍යාය ආදී කිසිවක් නොසලකන්නේය. ලාභය සඳහා හැකි උපරිමයෙන් සියලු සිද්ධාන්ත සහ සදාචාර බිඳ හෙළන්නේය. එය ඖෂධ, ආහාර වැනි මිනිසාගේ දෛනික අවශ්‍යතා සඳහා වුවද උපරිම ආකාරයෙන් සිදු කරන්නේය. ලංකාවේ සහල් ප්‍රශ්නය යනු ඒ ආකාරයේ මහා ගසාකෑමේ ව්‍යාපාරයක කතාවය.
ලෝක මානව හිමිකම් දිනය අදය. 1950 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවන් දිනයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ, එන්ජීඕ නඩ සඳහා සම්මාදම් එකතු කර ගැනීමේ සටන් පාඨයක් සඳහා නොවේ. ලෝකයේ මිනිස් වග අතර ගෞරවණීය ජීවිතයක් තහවුරු කර ගැනීම උදෙසාය. ඊට පෙර සියවසේ මිනිසෙක් තවත් මිනිසෙක් වෙත, වහල්භාවය සඳහා මිනිසෙක් විකුණුවේය. සමේ පැහැය අනුව දේශන ශාලාවෙන් එළියේ සිට සමහර ශිෂ්‍යයෝ ඉගෙන ගත්හ. පාලන බලතල සමඟ සම්බන්ධ වීම සඳහා උපතින් ගෙනා යුතු ලක්ෂණ විය. කුලය, පන්තිය වැනි සාධක හේතුවෙන් නියෝජනයේ අවස්ථා අහිමි විය. ස්ත්‍රී කායක් නම් ඔවුනට ඇතුළුවීමට අවසර නැති දොරවල් ගණනාවක් තිබුණි. මේ සියවස එවන් බාධා ගණනාවක අගුලු හැර ඇත්තේය. එසේ වුවද ධනවාදයේ සහ සූරාකෑමේ නාමයෙන්, වත්මන් මානවයාගේ අයිතිය සෑහෙන පමණකට වසාගෙන ඇත්තේය.
දඹුල්ලට ගෝණි පුරවා නාඩු සහල් පැමිණ ඇත්තේ වුවද ආහාරය සඳහා සිදු කරනා මානව අයිතිය කඩ කිරීම සඳහා තවම ස්ථිරසාර විසඳුමක් හිමිව නැත්තේය. ආහාරය සඳහා වූ මානව අයිතිය ප්‍රධාන අංග තුනකින් යුක්තය.
ලබා ගත හැකි බව යන්න එහි පළමු වැනි සාධකය වන්නේය. නිෂ්පාදන භූමියෙන් හෝ වෙනත් ස්වභාවික සම්පතකින්, ඍජුවම පෝෂණය කිරීම සඳහා හෝ ඉල්ලුමට අනුකූලව නිෂ්පාදන ස්ථානයේ සිට ආහාර, අවශ්‍ය ස්ථානයට ගෙන යා හැකි හොඳින් ක්‍රියාත්මක වන බෙදා හැරීම, සැකසීම සහ වෙෙළඳපළ පද්ධතියට පිවිසීම සඳහා වූ ශක්‍යතාවය මෙහි අදහස වේ. රටේ ප්‍රධාන ආහාරය වූ බත් පත සඳහා ලාංකේය ජනතාවට ඇති එම අයිතිය කාලයෙන් කාලයට උල්ලංඝනය කරන්නේ, සහල් මෝල් ප්‍රජාවය.
ප්‍රවේශ්‍යතාවය වනාහි ඊළඟ අංගයය. එයින් ඇඟවෙන්නේ ආහාර සඳහා වූ ආර්ථික හා භෞතික ප්‍රවේශය සහතික කළ යුතු බවය. අනෙකුත් මූලික අවශ්‍යතාවලට හානියක් නොවන පරිදි ප්‍රමාණවත් ආහාර වේලක් දැරිය හැකි මිලකට තිබිය යුතුය යන්නය.
ප්‍රමාණවත්භාවය යන තෙවැනි කාරණය අනුව, වයස, ජීවන තත්ත්වය, සෞඛ්‍යය, රැකියාව ආදී භේදයන්ගෙන් තොරව ජනයාගේ ආහාර අවශ්‍යතා සපුරාලිය යුතුය. ආහාර දූෂණයෙන් තොර විය යුතුය. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම ඒ සඳහා ප්‍රමාණවත් ආරක්ෂක පියවරයන් ගත යුතුය.
මේ ආකාර ත්‍රිත්වයම උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන්නාවූ සහල් මාෆියාව දැන් එහි අවසාන ඉමට ළඟාවී ඇත්තේය. ප්‍රශ්නය ඇති කර වහසි බස් දොඩවන මෝල් හිමියෝ, මේ රටේ තවම යහතින් සිටින්නේ කාරණා දෙකක් නිසාය. එකක් වන්නේ බලයට එන හැම ආණ්ඩුවක් සමඟම, මේ සමාගම් ඩීල් දමාගෙන සිටීමය. අනික දේශපාලන න්‍යාය පත්‍රය අතට ගෙන ආණ්ඩු මාට්ටු කිරීම සඳහා විපක්ෂය නිතරම හාල් මෝල් හිමියන් සමඟ රහසින් ඇති එකඟතාවයය. මෙය අත්වැල් බැඳ ගැනීමක් ලෙස හෝ රහසින් ලබාදෙන කැමැත්තක් ලෙස පළ විය හැක්කේය. වසර ගණනාවක් මේ රටේ ජනයා ඔය බැඳියාව අත් දැක ඇත්තේය.
දැන් ඒ සියල්ල සඳහා නිමාව සටහන් කළ යුතු කාලයය. ළගපාත කඩයකට ගොස් දවල් ආහාරය සඳහා මාළු කෑම භාගයක් ඕඩර් කළ විට එය රුපියල් තුන්සියයේ සිට ඉහළ මිලකට ලබා ගැනීමට තරම් අප අභාග්‍ය සම්පන්න වී තිබේ. ඒ ආකාරයට ලැබෙන ආහාර වේල වුවද පෝෂ්‍යදායි භවෙන් අවම මට්ටමක ඇති හෙයින් ගාණ ඒ සා විශාල වුවද පෝෂණය අවමය.
දැන් නම් මේ සියල්ල දෙස බලාගෙන හූල්ල හූල්ලා සිටි කාලය අහවර කර ගත යුතුමය. එක සද්දයකට දඹුල්ලට නාඩු තොග ආවා කියන්නේ, මේතාක් කල් බඩු හංගාගෙන ඩිමාන්ඩ් කළා යන්න පත්තු වී ඇති බවය. රටේ ජනාධිපතිවරයා, විටින් විටේ ගෙනත් සද්ද දමා සහල් තොග එළියට ගත යුත්තේ නැත. එය මානව අයිතියක් හෙයින් මෙතැන් සිට සද්දය දැමිය යුත්තේ ජනතාවය.
1789 ජූලි 14 වෙනිදා උදෑසන පැරිස් නුවරම ගල් ගැසී බලා සිටියේය. අමරියා කහිලා විසින් මෙහෙයවන ලද දහසක පමණ පිරිසක් බැස්‌ටීලය යටත් කර ගැනීමට පැමිණ සිටියහ. නියෝජිතයෝ දෙදෙනෙක්, ලද ඇරයුමෙන් බළකොටුව තුළට ගොස් සාකච්ඡාහි යෙදුණාහ. කතිකාව සඳහා කල්වේලා ගත වූ හෙයින් පිටත සිටියෝ, බැස්‌ටීල සීමාවට ඇතුළු වූහ. ප්‍රදේශය භාර ප්‍රධාන ආණ්‌ඩුකාර තැන විශාල අවියක් භාවිත කරමින් මේ පිරිසට වෙඩි තබන්නට විය. මේ දරුණු ප්‍රහාරයෙන් කිහිප දෙනෙක්‌ම මරු වැලඳ ගත්හ. සාකච්ඡාව වනාහි උගුලක් බව ජනයා වටහා ගත්තේය. වැඩේ අවුල් වෙන බව දැන ගත් ආණ්ඩුකාරයා, පිරිසට සාකච්ඡා සඳහා යළි ඇරයුම් කළේය. ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් පිරිස බැස්‌ටීලයට ඇතුළු විය. දරුණු ලෙස පහර කෑමට ලක්‌වූ ආණ්‌ඩුකාර ඩී ලෝනේ “දැන් ඇති, මට මැරෙන්න දෙන්න” යැයි ජනයා ඉදිරියේ බැගෑපත් විය.
ලෝක ඉතිහාසයේ එවැනි ආදර්ශ බොහොමයක් ඇත්තේ බැවින් ආහාරය නම් මූලික මානව අයිතිය උදෙසා යළිත් වරක් ජනයා රැවටීමට සූදානම් නැති බව මෝල් ප්‍රජාව වෙත සැල කර සිටිය යුත්තේය.