Home » පාසැල් නිල ඇදුම් වෙනුවෙන් අගමැතිනියගෙන් චීනයට කෘතඥතාව

පාසැල් නිල ඇදුම් වෙනුවෙන් අගමැතිනියගෙන් චීනයට කෘතඥතාව

by chanaka
December 10, 2024 7:12 pm 0 comment

2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

2025 වර්ෂය සඳහා පාසැල් නිල ඇදුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසැල් නිල ඇදුම් තොගය චීන තානාපති Key Zheng Hong, මහතා විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූූරිය වෙත සංඛේතාත්මකව භාර දීම අද (10) පස්වරුවේ කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු කෙරිණ.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් ගණන 4,640,086 කි. ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවයම ( 100%) ප්‍රදානයක් ලෙස මහජන චීන සමුහාණ්ඩුව විසින් ලබා දීම සිදු විය.

නැව්වාර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවන නැව්වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. තුන්වන නැව්වාරය එළැබෙන දෙසැම්බර් 25 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අධ්‍යාපනය අපේ රටට අතිශයින්ම වැදගත්, අපේ රජය අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනය අපට සංවර්ධනය කරා ළඟා විය හැකි මූලික ක්‍රමයක්. ඕනෑම සමාජ-ආර්ථික වෙනසක් හෝ තරාතිරමක් නොතකා සියලුම දරුවන්ට ගෞරවාන්විතව අධ්‍යාපනයට ප්‍රවේශ වීමට හැකි වන පරිදි අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම සිදු කිරීම අවශ්‍යයි. ඒ සඳහා වන බොහෝ යෝජනා අපි විසින් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා චීනය දක්වන ත්‍යාගශීලීභාවය අපට ඉතා වැදගත් මොකද නැත්නම් අපි මේකට අරමුදල් හොයන්න ඕන. 2025 සඳහා චීනය අපේ රටේ සෑම පාසලකම සියලුම දරුවන්ට සහ පිරිවෙන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දීමේ කාර්යය භාරගෙන තිබෙනවා. මෙය චීනයෙන් ලැබෙන වැදගත් පරිත්‍යාගයක් වන අතර ඒ වෙනුවෙන් රජය කෘතඥතාව පළ කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, තානාපති කාර්යාලයේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT