Sunday, April 20, 2025
Home » කුවේට්හි ටකරන් මඩුවක පිලිස්සී මියගිය සැමියාගේ මරණය සැකයි

කුවේට්හි ටකරන් මඩුවක පිලිස්සී මියගිය සැමියාගේ මරණය සැකයි

by sachintha
December 9, 2024 1:15 am 0 comment

කුවේට් රටේ නිවෙසක රියැදුරු සේවයෙහි නිරතව සිටියදී තම සැමියා පිලිස්සි මියගිය බවට එරටින් තොරතුරු වාර්තා වූ බවත් තම සැමියාට සිදු වූයේ කුමක්ද යන්න සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි කැකිරාව ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් වන මොහොමඩ් නුස්රා මිය ඉල්ලා සිටින්නීය.

කැකිරාව නගර සභා නිවාස ප්‍රදේශයේ පදිංචිව සිට ගොස් කුවේට් රාජ්‍යයේ නිවෙසක රියැදුරෙකු ලෙස සේවය කළ මොහොමඩ් සමීර් 26 හැවිරිදි තරුණයා මීට දින කිහිපයකට ඉහතදී නිදාගෙන සිටි ටකරන් ආවරණය කරන ලද කුඩා කාමරයක ඇති වූ ගින්නකින් පිලිස්සි මිය ගොස් ඇතැයි ඇය සඳහන් කරන්නීය.

කුවේට් රාජ්‍යයේ සේවය කරන සැමියාගේ හිතවතෙකුගේ මාර්ගයකින් මෙම මරණය පිළිබඳව දැනගත් බවත් ඒ අනුව තමන් ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සඳහන් කරයි. තම සැමියා වන මොහොමඩ් සමීර් මිය යෑම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බව ඇය සඳහන් කරමින් පවසා සිටියේ සැමියා සේවය කළ නි‍ෙවසේ නිවෙස් හිමියා මෙම මරණය සම්බන්ධයෙන් සැක කටයුතු ප්‍රකාශ කිහිපයක්ම සිදුකොට තිබෙන බවයි.

එමෙන්ම තම සැමියා දුරකතනයෙන් කතා කොට ඔහු නිදා ගන්නා ටකරන් මඩුවේ විදුලි කණුවක් පවතින බවත් සඳහන් කළේ යැයි ද ඇය පැවසුවාය. දිනක් එහි වායු සමීකරණ යන්ත්‍රය අක්‍රීය වී වැසිකිළියේ රැය පහන් කළ බව තම සැමියා සඳහන් කළේ යැයි ද තම හාම්පුතා දැනුම්වත් කළත් ඊට විසඳුමක් ලබා දී නැති බව සැමියා පැවසුවේයැයි ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් තම සැමියාගේ මරණය පිළිබඳව ඇත්තේ බරපතළ සැකයක් බැවින් ඊට සාධාරණය ඉටු කර දෙන ලෙසත් තම සැමියා පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ මොහොමඩ් නුස්රා මහත්මිය මෙසේද පැවසුවාය. Òඅපි ගොඩක් අසරණ අය මහත්තයයි මමයි අපේ පුංචි පුතයි ජීවත් උනේ, අපිට කියලා නි‍ෙවසක් නැහැ අපි ජීවත් වෙන්නේ අම්මලාගේ ගෙදර අපිට නි‍ෙවසක් හදාගන්න තමයි මහත්තයා කුවේට් රටට ගියේ.

එයා හැමදාම කිව්වේ රටවල්වල ආව කියලා සැප විඳින්නේ නැහැ පුංචි ටකරන් ගහපු මඩුවල තමයි ඒ අයට නිදාගන්න දෙන්නේ. ලබා දෙනවා කියපු වැටුප ලබාදීලා තිබුණෙත් නැහැ. අඩුම තරමේ මහත්තයගෙ මළසිරුරවත් අපිට දකින්න හැකියාවක් නැහැ. අපේ ආගමේ හැටියට මළ සිරුර එහෙම භූමදානය කරනවයි කියලා තමයි කිව්වේ.

කොහොම වුණත් අපේ රටේ පමණක් නෙවෙයි අනිත් රටවලත් ජනතාව සේවය සඳහා යන අයට හාම් පුතුන් හරහා මීට වඩා සැලකිලිමත් වීමෙන් ක්‍රියා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

එක පැත්තකින් මේක විදුලි සැර වැදිලා ගිනි ගත්තද මොනව වෙලා ගිනි ගත්තද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා විධිමත් මරණ පරීක්ෂණයක් පවත්වන්න කියලත් මම රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.Ó

සිගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT