Home » මිතුරාගේ විදෙස් පෙම්වතිය එක්ක හාද වූ තරුණයාව නිරුවත් කර පහර දී කප්පම් අරන්

මිතුරාගේ විදෙස් පෙම්වතිය එක්ක හාද වූ තරුණයාව නිරුවත් කර පහර දී කප්පම් අරන්

තරුණයාව අසැබි ක්‍රියාවන්ට යොමු කර වට්ස්ඇප් මිතුරන් අතරේ බෙදාහැරලා

by sachintha
December 9, 2024 2:06 am 0 comment

සිය විදේශීය පෙම්වතිය හා මිතුරුවී ඇයට වට්ස්ඇප් තාක්ෂණය හරහා අසභ්‍ය වීඩියෝ දර්ශන යවමින් ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බව පැවසෙන තරුණයකු පැහැරගෙන ගොස් ඔහුව නිරුවත් කොට මරණීය තර්ජනය කරමින් අවස්ථා පහකදී රුපියල් තිස්අට දහසක් හා ජංගම දුරකතනයක් කප්පම් වශයෙන් ලබා ගත් බව පැවසෙන විදේශීය තරුණියගේ පෙම්වතා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව, ශ්‍රී සුමන මාවතේ හා පොල්ගස්ඕවිට, උස්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි 22,24 සහ 28 වයසේ පසුවන තිදෙනෙකි. අත්අඩංගුවට ගත් උස්වත්ත පාර ප්‍රදේශයේ තරුණයකු විදේශීය තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. මේ බව දත් ඔහුගේ මිතුරකු තරුණියගේ වට්ස්ඇප් අංකයට කෙටි පණිවිඩ යවමින් මිතුරු වී ඇය හා ප්‍රේම සබඳතාවක් පවත්වා ගැනීමට උත්සාහ කර තිබේ.

ඒ අතරතුරදි ඔහු නිරුවත් වීඩියෝ දර්ශන ඇයට පෙන්වමින් අසභ්‍ය ලෙස හැසිරී ඇති බව ද පැවසේ. පසුව මේ බව දැනගත් විදේශීය තරුණියගේ පෙම්වතා තවත් මිතුරකු සමඟ ඉකුත් 10 වැනිදා කහතුඩුව, වෙනිවැල්කොළ ප්‍රදේශයට ගොස් ඔහුව යතුරුපැදියකින් පැහැරගෙන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දෙමහල් නිවෙසකට රැගෙන ගොස් රැයක් රඳවාගෙන ඔහුට පහරදී නිරුවත් කොට ලිංගික ක්‍රියාවලට පොළඹවා ඒවා වීඩියෝගතකොට තිබේ.

පසුව පහරකෑ තරුණයාගේ ජංගම දුරකතනය ගෙන එහි සටහන්ව තිබූ whatsapp අංකවලට එම වීඩියෝ දර්ශන යවා තිබේ. පසුව මේ බව දුටු, පහරකෑ තරුණයාගේ පියා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයන් තිදෙනා, යතුරුපැදියක්, ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලීසිය සඳහන් කළේ, පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පහරකෑ තරුණයාගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන බව පවසමින් අවස්ථා පහකදී රුපියල් 15,000, 8,000, 6,000, 5,000 බැගින් දෙවරක් වන සේ අවස්ථා පහකදී කප්පම් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.

මෙම තරුණයන් සිවුදෙනා මිතුරන් සේ දීර්ඝ කාලයක් ඇසුරු කළ අය බවත්, මේ බව පොලීසියේ පැමිණිලි කළහොත් ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (8) දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT