පොල් සහ හාල් ප්‍රශ්නය අරබයා නිර්මාණය වී ඇති තත්ත්වය සඳහා ඉක්මන් පිළියමක් ලෙස සතොස විසින් හාල් පහයි පොල් තුනයි යන පැකේජය ලබාදී තිබේ. මේ වනාහි රටේ සිටින සියලු දෙනා උදෙන්ම නැඟිට, සතොසට ගොස්, පැයක් පමණ පෝලිමේ සිට, හාල් කිලෝ පහ සහ පොල් ගෙඩි තුනක් ගැනීම සඳහා යෑම නොවේ. සතොස යනු රජයට අයත් සිල්ලර වෙෙළදසල් ජාලයකි. එහි පළමු උපයෝගීතාව වනුයේ වෙෙළඳපොළේ ඇති රැලි සඳහා ආණ්ඩුව පැත්තෙන් මුහුණ දීමට අවකාශ නිර්මාණය කිරීමය. කාලයකට බිත්තර මිල උඩ යන්නේය. හේතුව සොයාගෙන ගිය විට තමන්ට ලැබෙන ලාභ තීරුව උඩ දා ගැනීම සඳහා මුදලාලිලා එහෙම සෙල්ලම් දමන්නේය. එහෙව් විටක වෙෙළඳ පොළ තුලිත ආකාරයෙන් පවත්වාගෙන යෑම සඳහා රටින් හෝ බිත්තර ගෙන්විය හැකිය. එහෙත් ඒවා ජනතාව වෙත අලෙවි කිරීම සඳහා ඇති යන්ත්‍රණය කුමක්ද…? සතොසය. භාණ්ඩ රාශියක් සඳහා විටින් විට මේ ඉරණම කැරකෙන හෙයින් සතොස යනු පෙරුම්කායම් බැන්දා වැනි තත්ත්වයකි.
වෙෙළඳපොළේ හාල් හංගා ඇති විටක සතොස අඩු මිලට හාල් කිලෝ දෙක තුනක් දෙන්නේ නම්, හැංඟු බඩු එළියට එන්නේය. පොල් වැනි සමහර භාණ්ඩ එක්තරා කාලයකට ගාණ ඩබල් කර අලෙවි වන්නේය. බලපාන හේතුව කවරාකාරයේ වුවද හිඟය නැති වුවද, පොල් මිල අඩු වන්නේ හිමීටය. මෙවන් අවස්ථාහිදී හැංඟු දේ එළියට ඇදගැනීම සඳහා සතොස කදිම යන්ත්‍රණයකි. කකුළේ ඇනී ඇති කටුවක් එළියට ගැනීම සඳහා පෙරුම්කායම් බඳින්නා සේ, හංගා ඇති භාණ්ඩ එළියට ඇදීම සඳහා සතොස තිබිය යුත්තේය.
උත්සව සමය බැවින් මේ කාලය සිද්ධි දෙකක් සඳහා ජනප්‍රියය. එකක් හිඟයක් මවා බඩු මිල ඉහළ නැංවීමටය. අනික පරණ බඩු තොග අලුතින් පැක්කර තල්ලු කර දැමීමටය. හිඟය මවන්නේ නොවැම්බර් මුල පමණ සිටය. එසේ වූ කලී දෙසැම්බර් සීසන් එකේදී, ඒ භාණ්ඩයට වැඩි මිලක් ලැබෙන්නේය. මෙය වෙෙළඳපොළේ ඇති සාධාරණ මිල තීරණ රටාව නොවේ.
අද මේ තීරුව ලියැවෙන්නේ උත්සව සමයේ වෙෙළඳපොළට යන ජනයාගේ ඔළුව ඇතුළේ, බඩු මිල ඇසූවිට මල්වෙඩි සංදර්ශන පත්තුවීම පිළිබඳවය. දෙසැම්බර් මාසයේ ඇති වියදම් රටාව කෑමට බීමට සීමා වන්නේ නැත. පොඩි එවුන්ගේ පොත්පත්, බෑග්, සපත්තු, පහසුකම් ගාස්තු ආදිය සඳහා පළමුව මුදල් වෙන් කළ යුතුය. ජනේරුවේ, පළමුවෙන්ම ඔෆිස් යන දවසේ අලුත් ඇඳුමක් ගත යුතුය. සාරියක් නම්, මේඩ් අප් කර, ජැකට් ආදිය නව විලාසිතා අනුව මැස්සවිය යුතුය. අද සාරියක් අඳිනවා කියන්නේ සන්නාභ සන්නද්ධ වැනි වැඩකි. රණබිමට යන සෙබළෙක්, ෂෝටක් ගසාගෙන, තුවක්කුව කරේ දමා, සටනට යන්නේ නැත. සන්නද්ධව සිටින හෙතෙම, ඒ සඳහාම වූ ඇඳුම් ආදියෙන් සැරසී සිටින්නේය. සාරියක් ඇඳ අලුත් අවුරුද්දේ ඔෆිස් යෑම ද එසේය. ඒ සඳහා කලර් මැචින් කරන ලද අලුත් සෙරෙප්පු යුගලයක්, මාල, වළලු, මුදු කරාබු ආදිය ද තිබිය යුත්තේය. ඇවිදින තොරම්බල් කඩයක් සේ සමහරු නව වසරේ පාරේ යන්නේ මේ ට්‍රෙන්ඩ් එක ෆලෝ කිරීම නිසාය. ඔය සඳහා යන වියදම ද සුළු නැත.
දෙසැම්බර් ලබන විට මිනිසුන්ගේ ඔළුවේ ගිනි පත්තු වෙන්නේ මේ නිසාය. එහෙම පත්තු වෙන අතරේ අලුත් බිස්නස් මොඩල් ඔස්සේ සාක්කු සුද්ද කරනා වෙෙළඳ ප්‍රජාවක් ද ඇතිව තිබේ. සේල් දමා බඩු ටික තල්ලු කර ගැනීම ආදිය එහෙමට අවුලක් නැත. අපගේ ගර්හාවට ලක්වන්නේ කල්ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය, අලුත් ලේබල් ගසා ආමාශගත කිරීමේ ව්‍යායාමය පිළිබඳවය.
ආහාර උද්ධමනය දරා ගත නොහැකි ආස්ථානයක් කරා පත්ව තිබීම හේතුවෙන් කිලෝ එකක් සඳහා රුපියල් දහයක වාසියක් ලැබෙනවා කියූ විට ද ජනතාව ඒ පස්සේ දුවන්නේය. විශේෂයෙන්ම අවුරුද්දේ මුල් මාස හතර පුරා ආහාර උද්ධමනය වැඩිපුර පවතින්නේය. ජනේරුව සඳහා ඉහළ ගිය බඩු මිල යළි ගහෙන් බහින්නේ සිංහල අවුරුද්දට ද පසුවය.
දැන් කළ යුත්තේ රැඳී සිටින පිළිතුරක් වැඩේට ලබාදීමය. ආහාර සුරක්ෂිතභාවය යනු තවදුරටත් දේශපාලන සටන් පාඨයක් නොවීය යුත්තේය. හැමදාම විපක්ෂය කල්ල මරේ කර ගත්තේ. හාල් මිල, පොල් මිල ආදියය. එවැනි දැවෙන ප්‍රශ්න අතට ගෙන ජනයා කුලප්පු කර, ඡන්ද වෙෙළඳම කළ හැකිය. ඒ අතරේ වෙළෙන්දෝ ද වැඩේ අතට ගෙන වාසිය සරි කර ගන්නාහ. සතොස වැනි යන්ත්‍රණයක් සිදු කරන්නේ උත්ප්‍රේරක ක්‍රියාවලියක් පමණය. එයින් ලැබෙන උත්තේජනය සමස්තය වෙත බලපෑම් ඇති කරනවා විනා, ලංකාවේ සිටින සියල්ලෝ සතොසින් හාල් පහයි – පොල් තුනයි ගත යුතු නැත. මේ ආදී සියල්ල දැන් විවේචනය වන්නේය. එයින් සිද්ධ වන්නේ මේ ප්‍රශ්න හැමදාම ජීවත්වීමය. මේ රටේ ඉන්න හිටින්න බැරි පරිසරයක් නිර්මාණය වන්නේ එවන් තත්ත්වයන් අපේ කරට අතදමාගත් විටය. එහෙයින් මේ යුගයෙන් ඔය අටමගලය අවසන් කළ යුතුය. දේශපාලන අවස්ථාවාදය, වෙෙළඳපොළ මාෆියාව යන දෙකම පසෙක තබා, රටක් ලෙස ආහාර ප්‍රශ්නය සඳහා ක්‍රියාකාරී වන්නේ නම්, එහි වාසිය ආණ්ඩුවට නොව මේ රටටය.