Home » ව්‍යවසායකත්වයට සුදුසු පරිසරයක් බිහිකරන්න රජයෙන් වැඩපිළිවෙලක්

ව්‍යවසායකත්වයට සුදුසු පරිසරයක් බිහිකරන්න රජයෙන් වැඩපිළිවෙලක්

by chanaka
December 7, 2024 9:45 am 0 comment

රජය විසින් ඉදිරියේදී සිදුකරන ප්‍රතිසංස්කරණයන් තුළින් පවතින සියළු බාධක ඉවත් කර ව්‍යවසායකත්වයට සුදුසු ව්‍යාපාරික පරිසරයක් සකස්කර දීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ව්‍යවසායකයින් ගෙවන සෑම බදු රුපියලක් සඳහාම වගකීමක් රජයට තිබෙන අතර ව්‍යවසායකයින් ගෙවන බදු මුදල් වලින් ජනතාවට හා සමාජයට ප්‍රතිලාභ අත්කර දීමට රජය බැදී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසඳය විසින් සංවිධාන කළ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙල පසුගියදා ( 05 දා) කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවැති අතර එහි දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකත්වය දක්වමින් නායකත්ව විශිෂ්ටතා දැක්වූ ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනෙක් හා ඔවුන්ගේ කණ්ඩායම් ඇගයීමට ලක් කරන ලදී.

පිළිගත් වෘත්තිකයන් 11 දෙනෙක්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් විසින් පසුගිය වසර කිහිපය තුළදී අභියෝග වලට මුහුණ දෙමින් විශිෂ්ඨත්වයට පත්වූ මෙම විධායක නිලධාරීන් ඇගයීම පිණිස තෝරා ගෙන තිබුනි. මෙහිදී ජාතික ආර්ථිකය සඳහා AI භාවිතාව පිළිබඳව ආරාධිත විද්වත් දේශන කිහිපයක්ද පැවැත්වීම විශේෂත්වයකි.

පැමිණ සිටි ප්‍රධාන විධායක නිලධාරීන් ප්‍රමුඛ පිරිස අමතමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

” රාජ්‍ය අංශය විසින් රටේ ආර්ථිකය මෙහෙයවූවත් එයට අගය එකතු කර ආර්ථිකය ශක්තිමත් කරන්නේ පුද්ගලික අංශයයි. එනිසා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට රාජ්‍ය හා පුද්ගලික අංශ 2 ම ඒකාබද්ධව කටයුතු කිරීම ඉතා වැදගත්. ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ව්‍යවසායකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජයක් ලෙස අප බැඳී සිටිනවා. වර්තමානයේ අප රටේ පවතින්නේ දුර්වල ආර්ථිකයක්, මේ වනවිට ව්‍යවසායකයින් බදු ප්‍රතිපත්ති, විදේශ වෙළඳපොළ සොයා ගැනීම, තාක්ෂණය, අමුද්‍රව්‍ය සපයා ගැනීම ආදී ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. අප රජය විසින් ඉදිරියේදී සිදුකරන ප්‍රතිසංස්කරණයන් තුළින් මේ සියළු බාධක ඉවත් කර ව්‍යවසායකත්වයට සුදුසු ව්‍යාපාරික පරිසරයක් සකස්කර දීමට කටයුතු කරනවා. ව්‍යවසායකයින් ලෙස ඔබ ගෙවන සෑම බදු රුපියලක් සඳහාම වගකීමක් අප රජයට තිබෙන අතර ව්‍යවසායකයින් වන ඔබ ගෙවන බදු මුදල් වලින් ජනතාවට හා සමාජයට ප්‍රතිලාභ අත්කර දීමට අප බැදී සිටිනවා” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, විදෙස් තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයින්, ව්‍යවසායකයින්, විද්වතුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 500 කට ආසන්න සම්භාවනීයයන් පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT