Home » නොට්‍රේ-ඩේම් ආසන දෙව්මැදුර වසර පහකට පසු යළි විවෘත කරන්න සූදානම්

නොට්‍රේ-ඩේම් ආසන දෙව්මැදුර වසර පහකට පසු යළි විවෘත කරන්න සූදානම්

by chanaka
December 7, 2024 9:35 am 0 comment

ලෝක උරුම සලකුණක් ලෙස ගෞරවාදරයට පාත්‍රව තිබෙන මධ්‍යතන යුගයේ ඉදි කළ ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame)සෙනසුරාදා සවස නැවත විවෘත කෙරේ.

2019 වසරේ දී අවාසනාවන්ත ‍ලෙස ගින්නකට හසුවීමෙන් පසු වසර පහක් පුරා සිදු කළ ප්‍රතිසංස්කරණවලින් අනතුරුව, දෙව්මැදුර මෙලෙස යළි විවෘත කිරීමට සූදානම් වේ.

දෙව්මැදුරේ ඇති වූ ගින්නකින් එහි වහලය සහ කොත විනාශ වී වසර පහකට වැඩි කාලයක් ගතවී ඇත. මෙම දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණ සඳහා සමාගම් 250 ක් සහ විශේෂඥයින් සිය ගණනක් එක්ව තිබුණි. කෙසේ නමුත් වසර 850 ක් පැරණි මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන ව්‍යුහය එහි ඝණ්ඨාර කුළුණු දෙක ගින්නෙන් සුරැකිණි.

ආරාධිතයින් පමණක් මෙම විවෘත කිරීමේ උත්සවයට එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව රාජ්‍ය නායකයින් සහ රජයේ ප්‍රධානීන් ඊට ඇතුළත් වන අතර, අගරදගුරු ලෝරන්ට් උල්රිච් නිල වශයෙන් දෙව්මැදුරේ දොරටු විවෘත කිරීමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

එසේම මෙම නැවත විවෘත කිරීමේ උත්සවයට අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විලියම් කුමරු ඇතුළු සුවිශේෂී චරිතකිහිපයක් ද එක්වනු ඇතැයි සදහන් වේ.

නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුරේ ප්‍රධානියාට අනුව, ප්‍රතිසංස්කරණය කරන ලද දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දිව්‍ය පූජාවේ පළමු සතිය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ වී විනාඩි 25ක් ඇතුළත සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී ඇත.

ගින්න හේතුවෙන් මෙම දෙව්මදුර වසා දැමීමට පෙර, වාර්ෂිකව මිලියන 12 ක් නරඹන්නන් ආකර්ෂණය කර ගනිමින් ප්‍රංශයේ වැඩිපුරම නරඹන ලද ස්මාරකයේ මාතෘකාව හිමි කරගෙන සිටි ස්ථානය ලෙස මෙය සැලකිය යුතු සන්ධිස්ථානයක් තබා තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT