අවුරුදු 15න් පහළ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර කණ්ඩායම ඊයේ සමත් විය.
දඹුල්ල පිල සමඟ ඊයේ කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 2කින් ජය ගනිමින් මහනුවර පිල මේ අවස්ථාව උදා කර ගත් අතර, කොළඹ දකුණ කණ්ඩායම සමඟ තරගාවලියේ අවසන් මහ තරගය අද (6) තර්ස්ටන් විදුහල් පිටියේදීම පැවැත්වීමට නියමිතය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් දඹුලු පිල දුන් ලකුණු 154ක ඉලක්කය හඹා ගිය මහනුවර ක්‍රීඩකයෝ ඕවර 31.2කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 8ක් දැවී තිබියදීය.
මහනුවර ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් චනුත් ජයසිංහආරච්චි සහ චනුල් කොඩිතුවක්කු පළමු කඩුල්ලට ලකුණු 88ක් එක් කළ අතර, සනුත් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 48ක් සහ චනුල් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 26කින් වේගවත් ලකුණු 38ක් රැස් කළහ. යුමාල් එගොඩගේ කඩුලු 5ක් බිඳ දමමින් මහනුවර ජය වැළකීමට උත්සාහ කළ ද යෙනුල හේවාවිතාරණ නොදැවී ලකුණු 29ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. අමල් පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේය.
පන්දු 54කින් ලකුණු 39ක් රැස් කළ චමෝද් ප්‍රභාෂ පළමුව පන්දුවට පහර දුන් දඹුලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, අකෙන් සුජයන ලකුණු 38ක් සහ අමල් පෙරේරා ලකුණු 26ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී චනුල් කොඩිතුවක්කු කඩුලු 3ක් බිඳ දැමූ අතර, සනිතු ගුණතිලක, කුසල් බණ්ඩාර සහ සචින්ත ගුණසේකර කඩුලු 2 බැගින් දවා ගත්හ.
දඹුල්ල – 153 (ඕවර 49.5) චමෝද් ප්‍රභාෂ 39, අකෙන් සුජයන 38, අමල් පෙරේරා 26 (චනුල් කොඩිතුවක්කු 29/3, සනිතු ගුණතිලක 11/2, කුසල් බණ්ඩාර 28/2, සචින්ත ගුණසේකර 34/2)
මහනුවර – 154/8 (ඕවර 31.2) චනුත් ජයසිංහආරච්චි 48, චනුල් කොඩිතුවක්කු 38, යෙනුල හේවාවිතාරණ නොදැවී 29 (යුමාල් එගොඩගේ 33/5, අමල් පෙරේරා 35/2)