Home » ජාතික ඔලිම්පික් ආචාරධර්ම කමිටු වාර්තාව විධායක සභාවේ බහුතරයෙන් කුණු කූඩයට

ජාතික ඔලිම්පික් ආචාරධර්ම කමිටු වාර්තාව විධායක සභාවේ බහුතරයෙන් කුණු කූඩයට

by mahesh
December 6, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව එහි ආචාරධර්ම කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාව විධායක සභාවේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙයි.

ආචාරධර්ම කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු බව විධායක කමිටු සාමාජිකයන් 7දෙනෙකු ඡන්දයෙන් තීරණය කළ අතර, සාමාජිකයන් දෙදෙනකු එයට විරුද්ධත්වය ප්‍රකාශ කළහ. සාමාජිකයෙකු පමණක් මේ කරුණ සම්බන්ධව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, වගඋත්තරකාර මැක්ස්වෙල් ද සිල්වා මහතාට කරුණු දැක්වීමට කිසිදු අවස්ථාවක් ආචාරධර්ම කමිටුව ලබා දී නොමැති බව බහුතර සාමාජිකයන්ගේ අදහස විය.

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව පෙරේදා රැස්වූ අතර එහිදී ආචාරධර්ම කමිටු වාර්තාව පිළිගත යුතුද ? නැද්ද? යන්න සාකච්ඡාවට බඳුන් විය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට හැර වෙනත් කිසිවකුට වාර්තාවක් ලබා දී නොමැති බවට ජාතික ඔලිම්පික් කමිටුවට ලිඛිත ප්‍රකාශයක් ලබාදීම තුළින් ආචාරධර්ම කමිටුව ඉදිරිපත් කරන ලද ක්‍රීඩා අමාත්‍යාංශය සැකසූ යැයි පවසන විමර්ශන වාර්තා සැක සහිත බව විධායක කමිටු සාමාජිකයන් බහුතරයකගේ මතය වේ.

තවද ක්‍රීඩා අමාත්‍යාංශ විමර්ශන වාර්තාවේ සඳහන් නිර්දේශ 12ක කිසිදු පුද්ගලයෙකුට එරෙහිව කිසිදු දණ්ඩනීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව සඳහන් නොවන බවද ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇත.

එම නිර්දේශ 12කින්ම පෙන්වා දී තිබුණේ ඔලිම්පික් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අතර ඇති අසමගිය නැති කරගන්නා ආකාරය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කොට තිබේ.

මේ අතර ඔලිම්පික් සභාපති හා මහලේකම් එක්ව වැඩ නොකිරීම බරපතළ ගැටුමක් බැවින් කඩිනම් නිලවරණයක් පැවැත්විය යුතු බව ක්‍රීඩා සංගම් බහුතරයක මතය වී තිබෙ. විධායක කමිටු‍‍වේ සාමාජිකයන් 13න් සාමාජිකයන් 9ක් වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව සාමාජිකයන් දැනුම්වත් කරන ලෙස ඉල්ලීමක් කර තිබියදී ක්‍රීඩා සංගම් 33න් 16ක් පවසා ඇත්තේ කඩිනමින් නිලවරණයක් පැවැත්වීම වැදගත් බවය.

ඔලිම්පික් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ උපදෙස් පරිදි ආචාරධර්ම කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යාංශ විමර්ශන වාර්තාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත හා ජාතික සංගම් වෙත යැවීම ද බහුතර විධායක සභිකයන්ගේ අප්‍රසාදයට ලක්ව ඇතැයි සඳහන් වේ.

ඔලිම්පික් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු මෙයට වසර ගණනාවකට පෙර පැවති නිලවරණ‍යෙන් පසු මාධ්‍ය හමුවකදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT