දිවා කාලයේ නගරවල සැරිසරා සොරාගැනීමට සුදුසු වෙළෙඳසල් පිළිබඳව සොයා බැලීම් සිදුකොට රාත්‍රී සහ අලුයම් කාලයේ දී පැමිණ වෙළෙඳසල්වල අගුල් කඩා මහාපරිමාණයෙන් සොරාගැනීම් සිදු කළ බව කියන තිදෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරින් සමත්ව ඇත.
මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති සොර කල්ලියේ නායකයා බව පැවසෙන පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තවත් දෙදෙනෙකු ද සම්බන්ධකර ගනිමින් ඔහු සතු ලොරියක් භාවිත කොට වෙළෙඳසල්වලින් රුපියල් ලක්ෂ ගණන් වටිනාකමින් යුත් විවිධ අන්දමේ භාණ්ඩ විවිධ ප්‍රදේශයන්හි දී සොරා ගැනීම් සිදු කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවීම මත දැනට රුපියල් කෝටි තුනක පමණ භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකිවී යැයි පොලීසිය සඳහන් කරයි.
දැනට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු 34 හැවිරිදි කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් දෙදෙනා කඩුවෙල සහ මීගහවත්ත ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 28 සහ 38 යන වයසේ කාණ්ඩවල පසුවන බවත් මොවුන් විසින් රුපියල් කෝටි හයක පමණ භාණ්ඩ කොල්ලකා ඇති බව ප්‍රකාශ වී ඇති බවත් පොලීසිය පවසයි. ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේදී යක්කල නගරයේ විදුලි භාණ්ඩ වෙළෙඳසලකට ඇතුළු වී රුපියල් ලක්ෂ 9ක් පමණ වටිනා ද්‍රව්‍ය පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයෙහි තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,500ක් තිබී ඇති බවත් අනතුරුව සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශ ගණනාවක සිදු කළ සොරකම් පිළිබඳව අනාවරණය වීම මත ප්‍රධාන සැකකරුගේ බිරියගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිෙවසේ තිබී සොරාගන්නා ලද භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මහරගම බැටරි වෙළෙඳසලක් කඩා රුපියල් ලක්ෂ 55ක බැටරි තොගයක්, හෝමාගම වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ 16ක පමණ භාණ්ඩ, කඳානේ ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවිසලකින් රුපියල් ලක්ෂ 9 භාණ්ඩ, මහරගම මස් වෙළෙඳසලක් කඩා මස් සහ එහි තිබූ තරාදි ආදිය, හංවැල්ලේ ටයර් වෙළෙඳසලකින් ලක්ෂ 15 ක ටයර් තොගයක්, තලංගම සම්බාහන මධ්‍යස්ථානයක් බිඳ එහි තිබූ භාණ්ඩ, ගම්පහ වාහන අලංකරණ ස්ථානයකින් පරිගණක ඇතුළු රුපියල් ලක්ෂ 39ක් පමණ වටිනා භාණ්ඩ සොරාගත් බවත් මහරගම බැටරි වෙළෙඳසලෙන් සොරාගත් අලුත්ම බැටරි තොගය හිල් කොට අබලි ද්‍රව්‍ය ලෙස අලෙවි කළ බවත් අනාවරණය තිබේ. සැකකරුවන් විසින් දිවා කාලයේදී හඳුනාගනු ලබන වෙළෙඳසල් වෙත රාත්‍රීයේ හෝ අලුයම් කාලයේ පැමිණ ඉබි යතුරු කපා වෙළෙඳසලෙහි තිබූ සියලුම දෑ ඔවුන් රැගෙන එන ලොරියට පටවා ගෙන ආරක්ෂිත කැමරාවලට හසු නොවන අන්දමින් අතුරු මාර්ග ඔස්සේ ගමන් කොට ඇති බවද ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ වූ බවත් පොලීසිය සඳහන් කරයි.