– ස්පාඤ්ඤ පොලීසියවත් මෙච්චර ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නේ නෑ
– සතුටට පත් විදෙස් කතගෙන් සහතිකයක්
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරේදා (4) ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කළ ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට පොල්ලකින් පහර දී ඇය අතෙහි වූ දුරකතනය කොල්ලකෑ සැකකරුවන් දෙදෙනකු වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ඊයේ (5) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩීන් මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් රොසැල්ල සහ විග්ටන් වතුයායේ පදිංචි 23-26 වයස් කාණ්ඩයේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පෙරේදා (4) දින ගමන් කර ඇති ස්පාඤ්ඤ ජාතික ඇල්පා මාරියා (36) හැවිරිදි කාන්තාව වටවල රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශය සිය ජංගම දුරකතනයෙන් දුම්රියෙන් දොරටුවේ සිට වීඩියෝගත කරමින් ගමන් කරමින් සිට ඇත.
එම අවස්ථාවේ දුම්රිය මාර්ගයේ සිටි තරුණයන් දෙදෙනකු තමන්ගේ අතට පස්වරු 1.20ට පමණ පොල්ලකින් පහර දුන් බවත්, ඒ අවස්ථාවේ තමාගේ අතෙහි තිබුණු රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ජංගම දුරකතනය අතෙන් ගිලිහී වැටුණු බවත් ඇය පොලීසියට පවසා ඇත. පහර දීමෙන් තමන්ගේ හිසට තුවාල සිදු වූ බව ඇය විසින් ඇල්ල සංචාරක පොලීසිය වෙත ඇය කළ පැමිණිල්ලෙහි දැක්වේ. පොලීසියට මේ ගැන ඇගෙන් පැමිණිල්ලක් ලැබීමට පෙර හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වෙත දුම්රිය මාර්ගයේ සංචාරක මුරකරු විසින් ඒ සම්බන්ධයෙන් දැනුම් දී තීබේ. දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ක්ෂණිකව වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා ඒ බව දැනුම් දී ඇත.
සිද්ධය වාර්තා වූ වහාම ක්‍රියාත්මක වූ වටවල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබියදී පෙරේදා (4) රාත්‍රියේ පොලිස් මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින්ට වටවල රොසැල්ල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු පිළිබඳ සැක සිතී පරීක්ෂා කිරීමේදී ඒ තරුණයකු සන්තකයේ වටිනා ජංගම දුරකතනයක් තිබී ඇති අතර, එහි හිමිකම තහවුරු කිරීමට ඒ තරුණයන් දෙදෙනා අසමත් වූ නිසා ඔවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දුම්රියෙන් ගමන් ගත් විදේශීය කතකගෙන් ඩැහැගත් ජංගම දුරකතනයක් බවට තහවුරු වී ඇත.
වටවල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ඒ පිළිබඳ ඇල්ල සංචාරක පොලීසියට දැනුම් දී තිබේ. ඒ අනුව විදේශීය කාන්තාව ඊයේ (5) වටවල පොලිස් ස්ථානයට පැමිණ සිය ජංගම දුරකතනය භාර ගෙන ඇත. පොලීසිය වෙත ඇය පවසා සිටියේ තම රටේ පොලීසියවත් මෙතරම් කඩනමින් ක්‍රියා නොකරන බවත්, ශ්‍රී ලංකා පොලීසිය වහා ක්‍රියාත්මක වී තමාගේ නැති වූ ජංගම දුරකතනය සොයා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කරන බවත්ය. ජංගම දුරකතනය පොලීසියෙන් භාර ගත් විදේශීය කාන්තාව උඩවලව සංචාරය සඳහා පිටත්ව ගියාය.
වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතාගේ උපදෙස් පරිදි උපොප චමිල, පොසැ හේරත් (71112), පොසැ නන්දසිරි (6605), පොකො සම්පත් (74247), පොකො දිනේෂ් (100815), පොකො ඉසිදු (103208), කපොකො කාවින්දි (10814) යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.