Home » පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 17දා
මහර ගැටුමකින් සිරකරුවන් මියයෑමේ සිද්ධිය:

පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 17දා

by mahesh
December 6, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

මහර බන්ධනාගාරයේ පිරිසක් අතර 2020 වසරේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් ලබන මාර්තු මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (05) තීරණය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කෙරිණි.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී මිය ගිය සිරකරුවකු වන සම්පත් පුෂ්පකුමාර නමැත්තාගේ බිරිය මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් වැලිසර අධිකරණයේ විභාග වන බව පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සඳහන් කළේය.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර ඇති බව ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට දැනුම් දුන් බව ඒ මහතා සඳහන් කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශානක විජේසිංහ මහතා සඳහන් කළේ මේ සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් තිබෙන බවය.

එබැවින් එම ගැටුම්කාරී තත්ත්වයට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළේය.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවට මීට පෙර දැනුම් දී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව අද පැවසීම පිළිගත නොහැකි බව නීතීඥවරයා සඳහන් කළේය.මේ ආකාරයෙන් ස්ථාවර දෙකක් දැරීමට නීතිපතිවරයාට නොහැකි බව නීතීඥවරයා සඳහන් කළේය.එබැවින් මේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.ඒ අනුව කරුණු තහවුරු කිරීමට පෙත්සම මාර්තු මස 17 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT