පසුගිය දිනවල අසන්නට ලැබුණු අලුත් පුවතක් වූයේ දකුණු කොරියාවේ උපත් ප්‍රතිශතය ශීඝ්‍රයෙන් පහළ යෑමයි. එරටට එය සුබදායක පුවතක් නොවුවද ලෝකයට එය අලුත් පුවතක් විය. එම පුවතට අනුව ලෝකයේ අඩුම උපත් අනුපාතය ඇති රට වන්නේ දකුණු කොරියාවයි. ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව වසරින් වසර අනුපාතය අඛණ්ඩව පහළට ගමන් කරමින් පවතින අතර 2023 වසර වන විට එම අගය 0.7 දක්වා පහත වැටීමක් පෙන්නුම් කළේය. ඒ අනුව මින් පෙන්නුම් කරන්නේ, එරට කාන්තාවක තම ජීවිත කාලය තුළ ලැබීමට අපේක්ෂා කරන දරුවන් සංඛ්‍යාවයි. එහෙත් ජනගහනය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා එම අගය 2.1ක් විය යුතුය. මෙම ප්‍රවණතාව නොනවත්වා පැවතියහොත්, 2100 වසර වන විට දකුණු කොරියාවේ ජනගහනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව සඳහන් කරනුයේ බී.බී. සී. පුවත් සේවයයි.
උපත් ප්‍රතිශතය ශීඝ්‍රයෙන් පහළ යෑම ඒ අකාරයෙන් සිදුවුවද දකුණු කොරියාව පිළිබඳව උණුසුම් පුවතක් ලෝකයට දැනගන්නට ලැබුණේ පසුගිය දින කිහිපයේය. ඒ දකුණු කොරියාවේ ආර්ථිකය හෝ යුදමය ශක්තිය පිළිබඳ වූ කරුණු කාරණාවලින් සමන්විත පුවතක් නොවේ. එරට ජනයා ප්‍රකාශ කරන අයුරින් මහජනතාව පීඩාවට පත් කරන ආකාරයේ යුද නීතිය පැනවීමට කටයුතු කිරීමයි. ජනාධිපති YOON SUK YEOL රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේ හදිසියේම දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමට කටයුතු කරනා බවයි.
ඔහු යුද නීතිය ප්‍රකාශ කරන විට විපක්ෂයේ ක්‍රියාවන් කැරැල්ලක් ඇවිස්සීම ඉලක්ක කරගත් පැහැදිලි රාජ්‍ය විරෝධී හැසිරීමක් පෙන්නුම් කරනා බවද සදහන් කර තිබුණි. මෙම ක්‍රියාවන් රාජ්‍ය කටයුතු අඩපණ කර ජාතික සභාව අපරාධකරුවන්ගේ කඳවුරක් බවට පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
“උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේග විසින් එල්ල කරන ලද තර්ජනවලින් ලිබරල් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීම සඳහා සහ රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීම සඳහා මම මෙයින් හදිසි යුද නීතිය ප්‍රකාශ කරමි,” යූන් තම කතාබහ අතරතුරදී පැවසීය. මේ අතර හමුදා නීතියත් සමඟ පාර්ලිමේන්තුව තුළට මන්ත්‍රීවරුන්ට ඇතුළුවීමට නොහැකි පරිද්දෙන් මාර්ග බාධක යොදා වසා දැමීමටද එරට පොලීසිය කටයුතු කර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පුවත් සේවාවන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට, තම පක්ෂය තුළින් මෙන්ම එරට විපක්ෂයෙන්ද -‘
විරෝධතා මතුව ඇති බවයි. මෙම විරෝධතාව සම්බන්දයෙන් පිළිතුරු දෙමින් ඔහු සඳහන් කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී දකුණු කොරියාවක් ගොඩනැඟීමට තමා විසින් මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන් රාජ්‍ය විරෝධීන් රට තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ දරමින් සිදුකරන කටයුතු විනාශ කිරීමටත් මෙය සිදුකළ යුතු බව ඔහුගේ මතය විය.
මෙම හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් වර්තමානයේ කතාබහ කළ ද අතීතය පිළිබඳවද මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වටී. දකුණු කොරියානු ආරම්භක ඉතිහාසයේ සිට ජනාධිපතිවරුන් ගණනාවක් තම පාලන කාලය තුළදී හදිසි හමුදා අවස්ථා ප්‍රකාශයට පත්කළ අතර 1961න් පසුද ජනතා විරෝධය මැඬපැවැත්වීම සඳහා යුද නීතිය ක්‍රියාත්මක කරන්නට විය. 70 දශකය අවසාන භාගය වනවිට දකුණු කොරියාව තුළ යුද නීතිය ක්‍රියාත්මක වීමක් සිදුව තිබිණි. දකුණු කොරියාවේදී සිදුවූ කුමන්ත්‍රණයකින් පසු චුන් ඩූ-හ්වාන් හමුදා ආඥාදායකයෙකු ලෙස පත් කළ පසුද යුද නීතිය ක්‍රියාත්මක විණි. ඒ අනුව 1980 මැයි මාසයේදී ඔහු විසින් යුද නීතිය ක්‍රියාත්මක කොට සියලු දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කළ අතර පාසල් සියල්ල වසා දමා විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළේය. එහිදී සිදුවූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 26 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 190ක් පමණ මියගිය බව නිලධාරින් විසින් සඳහන් කරන්නට විය.
විපක්ෂයේ කතා
“ජනාධිපති යූන් කිසිදු හේතුවක් නොමැතිව හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කළා.
යුද ටැංකි, සන්නද්ධ රථ සහ තුවක්කු සහ කඩු අතැති සොල්දාදුවන් ඉක්මනින්ම අපේ රට පාලනය කරනු ඇත.”
ඒ විපක්ෂ නායකයාගේ අදහසයි. විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ලී ජේ-මියුන්ග් කියා සිටියේ හදිසි යුද නීතිය ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් මෙවන් තීරණ ජනතාවට එරෙහිව යන පියවරක් ලෙසිනි.
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් පසු ජනපතිවරයා පවසා සිටියේ තම ආණ්ඩුව ගනු ලබන පියවරයන් කලකිරීමට පත් කරන සුලු බව පවසමින් කියනු ලබන දෑ විවේචනයට ලක් කරනු ලබන බවයි. එමෙන්ම “නැවත නැවතත් දෝෂාභියෝගය, ව්‍යවස්ථාදායක සහ අය වැය හරහා රාජ්‍යයේ ක්‍රියාකාරකම් අඩාළ කරන එවැනි අදූරදර්ශී ක්‍රියා වහාම නතර කරන ලෙස අපි ජාතික සභාවෙන් ඉල්ලා සිටිමු,” යැයි ඔහු පැවසීය.
විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසා සිටියේ යූන් වහාම ඉල්ලා අස් නොවන්නේ නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමනා ජනාධිපති යූන්ගේ අපරාධය දෙස නිහඬව බලා නොසිටින බවද ඔවුන් සඳහන් කර සිටියහ. ඔවුන්ගේ නිරන්තර ඉල්ලීම වී තිබුණේ ජනාධිපති යූන් වහාම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
ජනාධිපතිවරයා මෙම ඛේදනීය තත්ත්වය සෘජුව සහ තරයේ පැහැදිලි කළ යුතු බවත් යුද නීතිය දකුණු කොරියාව වෙත පනවන්න යැයි නිර්දේශය ලබාදුන් ආරක්ෂක අමාත්‍යවරයා වහාම සේවයෙන් පහ කළ යුතු යැයිද සඳහන් කරන්නට විය.’
මේ හැටි කතා කවර ආකාරයෙන් ඇදෙමින් පැවතියද සෝල් නුවරදී, ජනාධිපති YOON විසින් දෙසැම්බර් 4 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද යුද නීතිය ඉවත් කළ යුතු බවට යෝජනාවක් දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මේ සමඟම සොල්දාදුවෝ ජාතික සභාවෙන් පිටව ගියහ. බහුතරයක් දෙනා මේ සම්බන්දයෙන් පවසන්නේ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශපාලන වැරදිවලින් සිදුකිරීමට ඇති ලොකුම වරද කර ඇති බවයි.
කෙසේ වුවද මේ වනතුරු ජනාධිපතිවරයාගේ අදහස වන්නේ ප්‍රධාන විරුද්ධ පක්ෂය උතුරු කොරියාවට අනුකම්පා කරන බවට සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවයි. යුද නීතිය ක්‍රියාත්මක කිරීම අවලංගු කරන්නැයි යූන් විසින් කරන ලද ප්‍රකාශයෙන් පසු පැය කිහිපයක් තුළ යුද නීති නියෝගය අවහිර කිරීමට නීති සම්පාදකයින් යුහුසුළුව කටයුතු කරන්නට විය. මේ සඳහා පාර්ලිමේන්තුව තුල පවත්වන ලද ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 300න් 190ක් මෙම පියවර අවලංගු කිරීමට ඡන්දය ප්‍රකාශ කළහ.
යුද නීතිය ඒ ආකාරයෙන් අහෝසි කිරීමට හැකි වුවද ජනාධිපතිවරයාට සිදුවූයේ තමන්ට කිසිවිටකත් සිදු නොවූ දෙයකි. එනම් විපක්ෂය විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කිරීමත් සමඟිනි. මේ වනවිටත් රට තුළ විරෝධතාවන් පන නැඟී තිබුණේ යුද නීතිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමිනි. කෙසේ වෙතත් එය අහෝසි වුවද දෝෂාභියෝගය ගෙන එම පිළිබඳ කතාව කරළියට පැමිණීමත් සමඟ ඔහු එයින් පරාජයට පත් වුවහොත් දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක්වූ තෙවන ජනපතිවරයා වන්නේ වත්මන් ජනපති Yoon Suk Yeol ය. මීට පෙර 2016 වසරේදී එවක ජනාධිපතිනිය වූ Park Geun-hye දෝෂාභියෝගයට ලක් වූවේ රාජ්‍ය රහස් හෙළි කිරීම, අල්ලස් ගැනීම සහ රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම යන චෝදනා එල්ල වීමෙන් පසුය. එමෙන්ම දෝෂාභියෝග චෝදනාවට ලක්වීමෙන් පසුව Roh Moo-hyun ජනාධිපතිවරයාද මාස දෙකක් පමණ සේවා අත්හිටුවීමකට ලක්ව සිටියේය.
මේ සමඟම විපක්ෂය විසින් චෝදනා එල්ල කරුණු ලබන්නේ ජනාධිපතිවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට ඇති චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
කොයිහැටි වෙතත් දෝෂාභියෝග පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යෝජනා වූ විට පැය 72ක් ඇතුළත ඡන්දය පැවැත්විය යුතු අතර මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 201 දෙනෙකුට වැඩි දෙනෙකු එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් එය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇත. ඉන්පසු ජනාධිපතිවරයාගේ වැඩ අහෝසිවීමෙන් පසු වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වන්නේ අගමැතිවරයාය. අනතුරුව සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ නඩු විභාගයක් පවත්වනු ලබන්නේ සාමාජිකයන් නව දෙනෙකුගෙන් යුතු කවුන්සිලයක් ඉදිරියේදීය. මේ මොහොතේදී අධිකරණයේ සාමාජිකයින් හය දෙනෙකු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදුණහොත් ජනාධිපතිවරයාට සිදුවන්නේ තම ධුරයෙන් නික්ම යාමටයි.
සීතල සෝල් නුවර තවතවත් උණුසුම් වන්නේ දෝෂාභියෝගය පනත සම්මත වී ඉන් ලැබෙන පිළිතුරද අනුවය.