අලුත්ගම – මතුගම මාර්ගයේ වැලිපැන්න, ලෙව්වන්දූව ප්රදේශයේදී ඊයේ (4)උදෑසන 6.00ට පමණ අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය අසල තිබූ බෝක්කුවක ගැටී මාර්ගයෙන් ඉවතට පැන විසි වී ගොස් මෝටර් රථය පෙරළීයෑමෙන් රථය පැදවූ තරුණයකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව වැලිපැන්න පොලීසිය පවසති. මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ අලුත්ගම, දර්ගා නගරය ප්රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.
මෝටර් රථය මතුගම දෙස සිට අලුත්ගම දෙසට ධාවනය වී ඇති අතර, වංගුව සහිත ප්රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව අසල තිබූ බෝක්කුවක ගැටී ආසන්නයේ තිබූ ඉඩමකට විසි වී ගොස් මෝටර් රථය පෙරළී ඇතැයි පොලීසිය පවසයි.
මෙම අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබේ. තුවාල ලැබූ තරුණයා සුවසැරිය ගිලන් රථයෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලීසිය ප්‍රකාශ කරයි. එම තරුණයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙම අනතුරට හේතුව අධික වේගය හා නින්ද යෑම නිසා රියැදුරට මෝටර් රථය පාලනය කරගත නොහැකි වීම බවට අනුමාන කෙරෙන බව වැලිපැන්න පොලීසිය ප්‍රකාශ කරයි.