කාලයක් තිස්සේ ඉතා රහසිගතව මතුගම නගරයේ කුලී නිවෙසක පවත්වාගෙන ගිය නීති විරෝධී මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලා කසිප්පු බැරල් අටක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මතුගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ මතුගම, බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඇඟලුම් ආයතන සඳහා ප්‍රවාහන පහසුකම් සපයන මෙම පුද්ගලයා වාහන කිහිපයක හිමිකරුවකු වන අතර නිවෙසේ සිට කි.මී. තුනක් පමණ දුරින් ඇති මෙම නිවෙස රුපියල් 25,000ක මාසික කුලී පදනම මත ලබාගෙන තනිවම නාන කාමරය තුළ මෙම ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඇඟලුම් ආයතනවලට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන වාහන යොදාගෙන කළුතර හා දුරබැහැර ප්‍රදේශවලට මෙම මත්පැන් අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.
සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ඉනෝකා හෙට්ටිවත්ත මහත්මිය නියෝග කර තිබේ. මතුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක උදයංග ඇතුළු නිලධාරීහු විසින් මෙම වැටලීම සිදුකරනු ලැබූහ.