වසර 400ක පමණ කාලයක් පුරාවට මේ රටේ පැවැති බමුණුකුල පාලනය බිඳ වැටී 2024දී ස්වදේශිකයන් පිරිසක් අතට එම පාලන බලය හිමිවීම රටේ වාසනාවක් බව උතුරුමැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පැවැසීය.
හෙතෙම ඒ බව පැවසුවේ මැදිරිගිරිය විවිධ සේවා සමූපකාර සමිතිය මඟින් රුපියල් කෝටි තිහක් පමණ වැයකර ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ග්‍රාමීය බැංකුව හා කොප් සිටි වෙළෙඳ මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා රටේ පොදු ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා නැවත වරක් සමුපකාර ව්‍යාපාරය දියුණු කර ශක්තිමත් කරමින් දැනට රට තුළ මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන පිරිසක් අතට පත්වී තිබෙන වෙළෙඳ ආර්ථිකය හැසිරවීමට සමුපකාර ව්‍යාපාරයට ද හැකියාව ශක්තිය ලබා දෙන්න ඕනෑ.
සහල් ඒකාධිකාරිය බිඳ දැමීමට රජය මැදිහත් වී සමුපකාර සමිති මඟින් වී මිලදී ගෙන කුඩා හා මධ්‍යම සහල් මෝල් ශක්තිමත් කරමින් ඒවා හරහා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම තුළින් සහල් මාෆියාව නැති කරන්න හැකි යැයි ද ඒ මහතා පැවැසීය.
මේ අවස්ථාවට එක් වූ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සමුපකාර ව්‍යාපාරය ඉදිරි කාලය තුළදී මේ රටේ තීරණාත්මක සාධකය ලෙස දියුණු කරන්න ඕනෑ.
සහල් මාෆියාව නැති කරන්න වී මිලදී ගැනීමට සැලකිය යුතු මට්ටමකින් රජය මැදිහත්වීමක් අවශ්‍යයි.
මේ සඳහා රජය ඉදිරියේදී කටයුතු සූදානම් කරනවා යැයි ප්‍රකාශ කළේය.
මෙම උත්සව අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, සමස්ත ලංකා සමුපකාර සම්බන්ධීකරණ නිලධාරි ජනාධිපති උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, සමුපකාර කොමසාරිස් ජේ. රලියුදීන්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ආනන්ද කුමාරගේ, මැදිරිගිරිය සමුපකාර සමිතියේ සභාපති ජී.ජේ. අරුණ ශාන්ත යන මහත්වරුන් සහ සමුපකාර නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.