දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හිඟුරාන, පැරණිගම, මලයාඩිය ඉලුක්පිටිය පුරාණ රජමහා විහාරස්ථානයට යන එන ප්‍රධාන පිවිසුම් මාර්ගය කැඩීයෑමෙන් පැරණිගම ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ගම්වැසියෝ පවසති. පවුල් 300ක් පමණ මලයාඩිය ග්‍රාමයේ ජීවත් වන අතර පාසල් ළමුන් සහ දෛනික ගොවිතැන් කටයුතුවලට යන එන ජනතාව ද මෙයින් මහත් පීඩාවට පත්ව සිටිති. අවට ගම්මානයට යෑමට විකල්ප මාර්ග ද නොමැති බව ඔවුහු ප්‍රකාශ කරති. මේ පිළිබඳව ගම්වාසීන් කිහිපදෙනකු මෙසේ අදහස් දැක්වීය.
ඒ.ජී. ජයතුංග මහතා
“ඉලුක්පිටිය පන්සලට යන එන පාර අබලන් වී අවුරුදු හතරක් පමණ වෙනවා. පසුගියදා ඇති වූ ගංවතුරට පාර තවත් කැඩී ගියා. පසුගිය ආණ්ඩු දෙකක් යටතේ කවුරුවත් හැදුවේ නෑ. පොඩි කොටසක් හදලා තියෙනවා තැන් කීපයකින්. දැන් පාර හොඳටම අබලන්.”
අළුත්ගෙදර එළාරිස් මහතා
“ගංවතුරට පන්සල් ඉඩමේ තිබුණ වැව උතුරලා පාර කැඩුණා. අඩි 2ක් විතර පාර අගල් සෑදී සෝදාපාළු වුණා. ගල් මතුවෙලා. මේ පාර හදන්න කිසිම කෙනෙක් නෑ. මම විල්බැරෝ එකකින් ගල් ටිකක් ගෙනත් දාලා පාර පොඩ්ඩක් හැදුවා.
අදාළ බලධාරීන් දැනුවත් කළත් තවමත් ආවේ නෑ.”
කේ.ජී. ශ්‍යාමල් ධනංජය මහතා
“ඊයේ පෙරේදා පාරට ගස් කඩාවැටිලා තිබුණා. මිනිස්සුන්ට පයින්වත් යන්න බැරි වුණා. අපේ ගෙවල්වලට විදුලියත් නෑ. විදුලිබල මණ්ඩලයේ වාහනයට එන්නත් බෑ. මණ්ඩලයේ අය පයින් ඇවිත් වැටී තිබුණ ගස් කපා ඉවත් කළා. එහෙත් ගමන් කිරීමට අපහසුයි. මේ මාර්ගය ප්‍රාදේශීය සභාවට අයත් පාරක්. ඒත් කිසිම නඩත්තුවක් කරන්නේ නෑ. ඉලුක්පිටිය පන්සලට දානය ගෙන යෑමටත් අපහසුයි. මලයාඩිය ග්‍රාමයේ දරුවන්ට පාසලට යන්න එන්නත් අමාරුයි.”