අලි – මිනිස් ගැටුමට තිරසර විසඳුමක් නොමැතිකමින් අඹන්පොළ, ගල්ගමුව, ඇහැටුවැව ගොවි ප්‍රජාව මහත් පීඩාවට පත්ව සිටිති. මහ කන්නය සඳහා කුඹුරු වගා කිරීමත් සමඟ වල් අලි මේ වන විට ගම්මානවල කුඩා කැලෑවලට කොටු වී ඇති අතර රාත්‍රී කාලයේදී ගම්වලට කඩා වැදී මහත් විනාශයක් සිදු කරමින් සිටින බව මෙම ගම්මානවල ජනතාව පවසති. මේ නිසා කුඹුරුවලට යම් ආරක්ෂාවක් සැලසී තිබුණ ද හේන් ගොවිතැන සහ ගෙවතු වගාවන් වනසන තත්ත්වයකට පත්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. අඹන්පොළ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටදිවුල රක්ෂිතය මේ සඳහා හොඳම නිදසුනක් වන අතර තේක්ක රක්ෂිතයේ වල් අලින්ට ආහාර නොමැති කමින් කාසිකොටේ, පීල්ල, නැලෑව, තරණගස්වැව යන ගම්මානවලට කඩාවැදීමෙන් එම ගම්වාසීහු දැඩි භීතියෙන් පසුවෙති. පසුගිය රජයන් මඟින් වල් අලි ප්රශ්නයට ලබා දෙන ලද පැලැස්තර විසඳුම් නිසා මේ වන විට උඩු දුවා තිබෙන අලි මිනිස් ගැටුමට කඩිනමින් තිරසර විසඳුමක් ලබා දෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලති.