රෝගී, සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබා දී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවෙස කරා පැමිණෙමින් සිටිය දී මොරොන්තුඩුව දැල්කඩ හන්දිය අසල දී පෙරේදා (03) රාත්‍රී ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් තරුණයකු මියගොස් මිතුරා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොරොන්තුඩුව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, මහා ගෝනදුව, කවටයාගොඩ පාර අංක16 නිවසේ පදිංචිව සිටි 18 හැවිරිදි අසිත උදයංග සිල්වා තරුණයායි.
බරපතළ තුවාල ලද එම ප්රදේශයේම පදිංචි 17 හැවිරිදි අනෙක් තරුණයා කළුතර, නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුරින් පසු පලා ගොස් සිටි ටිපර් රථ රියැදුරු පිළියන්දල ප්රදේශයේදී ටිපර් රථයත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තරුණයාගේ සහෝදරයකු රෝගීව බණ්ඩාරගම දිසා රෝහලේ ප්රතිකාර ලබන අතර ඔහුට රාත්‍රී ආහාර පාර්සලයක් ලබාදී මිතුරා සමඟ යළි නිෙවස කරා පැමිණෙමින් සිටියදී බණ්ඩාරගම සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබූ වාහන පෙළකට ඉස්සර කර යාමේදී කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට වැලි පටවාගෙන පැමිණි ටිපර් රථයේ ඉදිරිපස දකුණු පෙදෙසේ ගැටී මෙම අනතුර වී තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සැලවූ වහම එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණීමේ දී මාර්ගයේ වම්පස නවතා තිබූ ටිපර් රථයක් පණ ගන්වාගෙන ගමන් කිරීමේ ඇතිවූ සැකය මත එහි ලියාපදිංචි අංකය සටහන් කරගත් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලද තරුණයන් දෙදෙනා ගෝනදුව ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු එහි දී මියගොස් තිබූ බව පොලීසිය පවසයි.
අනතුරට පත් තරුණයන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදියේ ගැටුණු වාහනයක් නොවීම හේතුවෙන් මඳ වේලාවකට පෙර දී එම ස්ථානයේ සිට පිටත් වූ ටිපර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කරන ලද විමර්ශනවල දී එලෙස පලා ගිය වාහනය මෙම ටිපර් රථය බවට අනාවරණය කරගෙන පිළියන්දල ප්රදේශයට ගොස් ටිපර් සහ එහි රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අනතුරින් මියගිය තරුණයා පුහුණු රියැදුරු බලපත්රයක් හිමි තැනැත්තකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් 25 හැවිරිදි ටිපර් රථ රියැදුරු පානදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.