අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද සහ හෙට
2025 වසරේ මුල්කාර්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කෙරන අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද (05) සහ හෙට(06) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
කතානායක අසෝක සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුව මෙම විවාදය පැවැත්වේ. ඒ අනුව විවාදය අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිත වේ.
ඩිජිටල් ආර්ථිකයෙන් විදේශ විනිමය උපයන තැනකට රට මෙහෙයවනවා
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න
සියලු පාර්ශ්වයන් එක්තැනකට ගෙන ඩිජිටල් ආර්ථිකයෙන් විදේශ විනිමය වැඩි වශයෙන් උපයන තැනකට රට මෙහෙයවන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ එරංග වීරරත්න මහතා මෙසේ ද පැවසීය.
“අද මේ රටේ සියලු දෙනාම මාලිමා ආණ්ඩුවට ඡන්ද දී තිබෙනවා. එදා සියයට 3ක ප්‍රතිශතාත්මක වූ ඡන්දයක් ගත්ත පක්ෂය අද ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහිකරන්න සමත්ව තිබෙනවා. ඒ අනුව අපි ඉදිරියට යන වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙනවා. දේශපාලන, ආර්ථික සහ සමාජ පරිහානිය අපි දැක්කා. නමුත් දේශපාලන පරිහානිය වෙනස් කොට හොඳ කණ්ඩායමක් පත්කර තිබෙනවා. ජනතාව ඒ වෙනස සිදුකර තිබෙනවා. අපි හොඳින් ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන රටක් අපි ගොඩනඟනවා. සමාජයීය පරිවර්තනයක් අපි අපේක්ෂා කරනවා. පාර්ලිමේන්තුවේ සිට බිම් මට්ටම දක්වා අපි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. දිළිඳු පුද්ගලයන් රටක සිටිනතාක් පරිවර්තනයක් කරන්න නොහැකි වෙනවා. මේ රටේ සමාජය යහපත් ලෙස වෙනස් කරන්න අපි අපේක්ෂා කරනවා.
මේ රටේ පසුගිය දිනවල වීසා ලබාගන්න ක්‍රමවේදය පවා ගැටලුසහගත තත්ත්වයක තිබුණා. මේ රටට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබාගන්න නොහැකි තත්ත්වයක් තිබුණා. ඒ ක්‍රමවේදය අපි අවසන් කළයුතු වෙනවා. නාස්තිකාර මුදලක් එක් ආයතනයකට ලබාදෙන්න කටයුතු කළා. නමුත් අපි එක් දිනකින් ඒ තත්ත්වය යථා තත්ත්වයට පත්කළා. අපි මේ රටේ ගැටලුවලට ක්‍රමානුකූලව විසඳුම් දෙන්න පියවර ගන්නවා. මේ රටේ ICTA එක පාරටම වහන්න සැලසුම් කර තිබෙනවා. ඒක මේ රටේ ඉතාම වැදගත් ආයතනයක්. මේ ආයතනය එක පාරටම වහන්න උත්සාහ කළා. නමුත් ඒකට හරි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. නමුත් අපි මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.”
ආකර්ෂණීය ප්‍රතිපත්ති ඉදිරිපත් කළත් ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට බැරිනම් නම් රටට පලක් නැහැ
මන්ත්‍රී අනුරාධ ජයරත්න
ආකර්ෂණීය ප්‍රතිපත්ති ඉදිරිපත් කළ ද ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් රටට පලක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අනුරාධ ජයරත්න මහතා මෙසේ ද පැවසීය.
“ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කාරණා මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ද යන්න පිළිබඳව ගැටලු තිබෙනවා. ඇතැම් ඒවා ආකර්ෂණීය වුණාට ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඇතැම් විට එකම ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරනවා. ඒවා ක්‍රියාත්මක කරන්න නොහැකි වී තිබෙනවා. මේ සියල්ල මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමයි අපිට අවශ්‍ය වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කළයුතු වෙනවා. ඒ වැඩපිළිවෙළ අපි ඉදිරියට රැගෙන යායුතුයි. අපේ විදෙස් සංචිත තවදුරටත් ඉහළ නංවාගතයුතු වෙනවා. ගොවි ජනතාවගේ අවශ්‍යතා හඳුනාගත යුතුයි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරන්න රජයේ මැදිහත්වීම අවශ්‍යයි. පුරන් කුඹුරු නැවත වගාවට යොදා ගතයුතු වෙනවා. මේ වෙනුවෙන් වාරි යෝජනා ක්‍රම සකස් කළයුතු වෙනවා. ගොවි ජනතාවට සහනාධාර දීම තුළින් පමණක් ඉදිරියට රැගෙන යන්න බැහැ. මේ වෙනුවෙන් රජයේ අවධානය යොමු වියයුතු වෙනවා. රජයට ශක්තියක් වන ගොවි ජනතාවක් බිහිකරන්න පුළුවන් නම් එය ඉතා වැදගත් වෙනවා. එක්තරා අයකු රාජ්‍ය සේවය ලක්ෂ 5.5ක් පමණ ඉවත් කළයුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. රජයේ ආර්ථික හැකියාව සමඟ ඇතැම් ආයතන නඩත්තු කරන්න නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඇතැම් ආයතන පසුගිය කාලයේ රුපියල් බිලියන ගණනක පාඩු ලැබුවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මඟහැරුණු කරුණු දෙකක් තිබෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් දක්වා නැහැ.
ජාතික ජන බලවේගයේ ජනවරම පාවා නොදී කටයුතු කළ යුතුයි
මන්ත්‍රී දයාසිරි ජයසේකර
ජාතික ජනබලවේගය ආණ්ඩුව ලබාගත් ජනවරම පාවා නොදෙමින් කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද පැවසීය. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි සමගි ජන සන්ධානය සමඟ අත්වැල් බැඳගත්තේ මැද මාවතේ සිට ඉදිරියට යන්නයි. අපි එක්ව මේ ක්‍රියාවලිය සමඟ ඉදිරියට යනවා. ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මම සුබපැතුම් එක්කරනවා. තමන්ගේ පෞද්ගලික මතවලට අනුව දේශපාලනය කරන්නට යාමෙන් පක්ෂ දියාරූ වී ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය අද අවසන් වී තිබෙනවා. නව නායකයන්ට ඉඩ නොදෙන තත්ත්වයක් තුළ මේ පක්ෂ විනාශයට පත්ව තිබෙනවා. රටේ ජනතාව නව නායකත්වයක් ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් අපි අවධානය යෙමු කළයුතු වෙනවා. මෙවර පාර්ලිමේන්තුවට නවකයන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. මේ බලවේගය කොහෙන් ද ආවේ. ජාතික ජනබලවේගයට මෙවැනි බලයක් ආවේ කොහොමද.
මම 2014 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතාට යන්න පාරවල් දෙකක් ගැන මම කිවුවා. එදා ඒ විදියට කටයුතු කළා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ. නමුත් එහි අවසන් ප්‍රතිඵලය වුණේ ලක්ෂ 69ක් ජනතාව විරුද්ධව කටයුතු කළා. ගජමිතුරු දේශපාලනය ක්‍රියාත්මක කිරීම නිසාවෙන්, ජාතික ජනබලවේගය මෙතරම් විශාල ජයග්‍රහණයක් ලබාගත්තා. සියලු පාර්ශ්වයන් එක්කරගෙන මේ ජයග්‍රහණය ලබා ගත්තා. මේ ලබාගත් ජනවරම පාවා නොදෙන ආකාරයෙන් කටයුතු කළයුතු වෙනවා. උඩගු නොවී මේ ජනවරම නිවැරදිව ක්‍රියාත්මක කළයුතු වෙනවා. හොරු නොවන මේ රටට අනාගතයක් හදන මිනිස්සු විනාශ කරන්න එපා. ජනාධිපතිවරයා සතු වරප්‍රසාද කප්පාදු කරනවා කිවුවා. ජනාධිපතිවරයා දැනට ගන්නා සියලු දීමනා සම්බන්ධයෙන් නීතියක් ගෙනත් තිබෙනවා” යැයි කීවේය.
ග්‍රාමීය ජනජීවිතය නඟාසිටුවීමට කෘෂි කර්මාන්තය කේන්ද්‍ර කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාවයි
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ
ග්‍රාමීය ජනජීවිතය නඟාසිටුවීම සඳහා කෘෂිකර්මාන්තය කේන්ද්‍රගත කිරීමට වත්මන් ආණ්ඩුව අපේක්ෂා කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ සුසිල් රණසිංහ මහතා මෙසේ ද පැවසීය.
“රටේ වැඩිම පිරිසක් ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්රදේශවලයි. එයින් විශාල පිරිසක් කෘෂිකර්මාන්තයේ නිරතව ඉන්නවා. ඔවුන්ගේ ජනජීවිතය ඉතාම කනගාටුදායක තත්ත්වයක තිබෙනවා. ඔවුන් ණයකරුවන් බවට පත්ව තිබෙනවා. හැම පවුලක්ම ණයයි. පොලියට සල්ලි ගන්නවා. ණය බරින් ජීවත් වෙනවා. තමන්ගේ දරුවන්ට උගන්වා ගන්න, බෙහෙත් ටික ගන්න නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම යටිතල පහසුකම් ද පහළ මට්ටමක තිබෙනවා. ග්‍රාමීය ජන ජීවිතය නඟාසිටුවීම සඳහා කෘෂිකර්මාන්තය කේන්ද්‍රගත කිරීමට අපි අපේක්ෂා කරනවා. අපිට හොඳ වාරි පද්ධතියක් තිබෙනවා. රටේ පස ඉතාම හොඳයි. කෘෂිකර්මාන්තය සමඟ බැඳුණු මානව ප්‍රජාවක් අපිට ඉන්නවා. ඒ නිසා කෘෂිකර්මාන්තය නංවාලන්න හොඳ වටපිටාවක් අපිට තිබෙනවා.
වී වගාවෙන් අපිට ප්‍රමාණවත් අස්වැන්නක් ලැබෙමින් තිබෙනවා. ඒ සඳහා නව බීජ හඳුන්වා දියයුතු වෙනවා. ඉහළ අස්වැන්නකට යන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ වගා කරන්න පුළුවන් බොහෝ භෝග අපේ රටේ වගා කරන්නේ නැහැ. ගොවියන්ට නිසි ආදායමක් නොමැති තත්ත්වයක් තිබෙනවා. භෝග වගා කිරීම සඳහා ජාතික සැලැසුමක් ක්‍රියාත්මක කළයුතු වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා විශාල වියදමක් දරන්න සිදුව තිබෙනවා. ඒ වගේම පශු සම්පත් ක්ෂේත්‍රය දියුණු කරන්න අපේක්ෂා කරනවා. ජාතික ඉඩම් පරිහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”
සහල් ආනයනය නොකරන බව කියූ ආණ්ඩුව මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරන්න හදනවා
මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර
සහල් ඇටයක් හෝ විදේශයන්ගෙන් ආනයනය නොකරන බව සඳහන් කළ වත්මන් ආණ්ඩුව සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.
“මේ රටේ සියලු ජාතීන් එකට සිටගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කළයුතු වෙනවා. එවැනි තත්ත්වයක් තිබෙන්නේ සමගි ජනබලවේගය තුළයි. එදා මේ රටේ ජනතාව වෙනුවෙන් බලය විමධ්‍යගත කළා. ඇතැමුන් ඒකට විරුද්ධ වුණා. මේ රටේ ජීවිත දහස් ගණනක් නැතිවුණා. එදා තිබුණු ප්‍රතිපත්තියේම මේ ආණ්ඩුව කටයුතු කරනවා. ජාතිවාදය නිසා අපේ රට පස්සට ගියා. අවුරුදු 30ක් අපි යුද්ධ කළා. නමුත් මේ ආණ්ඩුව නිවැරදි මාර්ගයට පැමිණිය යුතු වෙනවා. මේ ආණ්ඩුව කරන දේ ජනතාව බලා සිටිනවා. ජාතික සමගිය සම්බන්ධයෙන් කතා කරනවා. මේ රටේ ජාතික ධනය විශාල වශයෙන් විනාශයට පත්වුණා. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එදා අපි කියපු දේ අන්තර්ගත කර තිබෙනවා.
ආණ්ඩුව උතුරේ ජාතිවාදී ක්‍රියා කිසිවක් සිදු කර නෑ
ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා
වත්මන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ උතුරු පළාතේ කිසිදු ආකාරයක ජාතිවාදී ක්‍රියාකාරකමක් මේ දක්වා සිදුව නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ මහවිරු සතිය සැමරූ උතුරේ අයට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමත්, ඊට විරුද්ධ වූ දකුණේ අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවට කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, සභානායක බිමල් රත්නායක මහතා, මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා අතර ඇතිවූ උණුසුම් කතාබහ අතරතුරදීය.
මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා :-
“මේ ආණ්ඩුව උතුරේ සිවාජිලිංගම්ට ක්‍රියාත්මක කරන නීතිය නොවෙයි දකුණේ අර අත්අඩංගුවට ගත් අයට තිබෙන නීතිය. නඩු දාලා තිබෙන්නේ උතුරේ එක නීතියක් යටතේ දකුණේ තව නීතියක් යටතේ.
දකුණේ දාලා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ. උතුරේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දානවා. මේක ප්‍රශ්නයක්.”
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා :-
“උතුරේ එක නීතියක් යටතේත් දකුණේ තව නීතියක් යටතේත් අපි ක්‍රියා කරන්නේ නෑ. අනෙක අපි නොවෙයි නඩු දාන්නේ පොලීසිය. ඇමැතිවරයා නඩු දාන්නේ නෑ. පොලීසිය තමයි තීරණය කරන්නේ මොන නීතිය යටතේ ද නඩු පවරන්නේ කියලා. අපි පොලීසියට නිදහස දීලා තිබෙනවා. ඒ කාලේ වගේ නොවෙයි.”
අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා :-
“පොලීසිය යම් හෙයකින් වැරදි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවානම් ඒ ගැන ක්‍රියා කරන්න මානව හිමිකම් සහ අනෙකුත් ප්‍රතිපාදන තිබෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා –
“අපි කියන්නේ පොලීසියට ඕනෑ ඕනෑ විදිහට වැඩ කරන්න එපා කියලායි. ජාතිවාදය නැති කිරීම වැදගත්.”
ඇමැති ආනන්ද විජයපාල මහතා :-
“දයාසිරි මන්ත්‍රීතුමා කලින් කිව්වා උතුරට එක නීතියක් සහ දකුණට තව නීතියක් යටතේ අත්අඩංගුවට ගැනීම් කර තිබෙනවා කියලා. මම දැන් පොලිස්පතිතුමාට කතා කළා. පොලිස්පති කිව්වා එහෙම නෑ උතුරේත් ත්‍රස්තවාදය වැළැක්වීම යටතේයි ක්‍රියා කර තිබෙන්නේ කියලා. ඒ නිසා දයාසිරි මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ නැවත වතාවක් ජාතිවාදය ඇවිස්සීමක් තමයි කර තිබෙන්නේ.”
මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා :-
“මම ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියේ නෑ ඉතිහාසයේ කවදාවත්. මම ජාතිවාදියෙක් කියපු එක හෙළා දකිනවා.”
සභානායක බිමල් රත්නායක මහතා :-
“මෙතුමා කළ ප්‍රකාශයකට ඇමැතිවරයා පොලිස්පතිගෙන් විමසා උත්තරයක් දුන්නා. ඒක එච්චරයි. මේ වැඩේට ඉඩ දෙන්න එපා. ජාතිවාදී ප්‍රකාශයක් තමයි ඔබ කළේ.”
ආපදා නිසා ජීවිත අහිමිවූ ශ්‍රී ලංකාවේ – ඉන්දියාවේ ජනතාවට කනගාටුව ප්‍රකාශ කරනවා
සභාව කල්තැබීමේ විවාදයේදී ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවැත්විණ. ඇතිවූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දිවයිනේ විශාල පිරිසක් පීඩාවට පත්වූ හෙයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය 03 වැනිදා ආණ්ඩු පක්ෂයෙන් සිදු කළ ඉල්ලීමක් අනුව මෙම විවාදය ලබා දීමට තීරණය විය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පසුගිය 03 වැනිදා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී මෙම විවාදය ඊයේ (04) පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට තීරණය කළේය.
ඒ අනුව මෙම විවාදය වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආරම්භ කළ අතර එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ස්ථිර කළේය.
යෝජනාව ස්ථිර කළ නලින් බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේ විශාල පිරිසක් මෙම තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ බවයි. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල ජනතාව තවමත් සහන කඳවුරුවල සිටින අතර හානියට පත්වූ වගාබිම් වෙනුවෙන් අවශ්‍ය සහන නිසි පරිදි ලබාදිය යුතුබවයි. එමෙන්ම ඇතැම් ජනතාව තම වගා කටයුතුවලින් පමණක්ම ජීවිකාව ගෙනයන බැවින් හානි වූ වගාබිම් වෙනුවෙන් ලබාදිය යුතු සහන නිසි පරිදි ලබාදිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන්ම හැඩ ඔය, ලාහුගල ආදී ප්‍රදේශවල දැඩි හානියක් සිදුව ඇති අතර පීඩාවට පත් ජන ජීවිත නැවත නඟාසිටුවීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. මෙම විවාදයට එක්වූ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්දා මහතා සඳහන් කළේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. පවුල් ලෙස ගත් කල එක්ලක්ෂ හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් මෙම ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ බව ද ඒ මහතා සඳහන් කළේය. පුද්ගලයන් ලෙස ගත් කල හාරලක්ෂ හැත්තෑදහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වූ බව ද හෙතෙම අනාවරණය කළේය. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ එක් අයකු හා මඩකලපුව දිස්ත්‍රික්කයේ 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ද අනාවරණය කළේය. ත්‍රිකුණාමලය, යාපනය ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක පුද්ගලයන් මියගිය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මියගිය සියලු දෙනා වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පිරිනැමූ ඒ මහතා ආණ්ඩුව ලෙස සිදුකළ හැකි උපරිම මැදිහත්වීම මේ වෙනුවෙන් සිදුකරන බව ද පැවසීය. මේ තත්ත්වය හේතුවෙන් මහාමාර්ග, පාලම්, බෝක්කු, ඇතුළු වාරි පද්ධතියට මෙන්ම වගා බිම්වලටත් විශාල හානියක් සිදුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව අනුගමනය කළ බව ද සිහිපත් කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී කවර හෝ අතපසුවීමක් සිදු වූයේ නම් කනගාටුව ප්‍රකාශ කරන බවද පැවසීය.
මෙම විවාදයට එක්වූ පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ වගබිම් වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බවයි. එක් අක්කරයක් වෙනුවෙන් රුපියල් අනූ දහසකට ආසන්න මුදලක් වැය වන සඳහන් කළ ඒ මහතා අක්කරයක් වෙනුවෙන් කුඹුරු ඉඩමකට ලබා දෙන රුපියල් 40000ක මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
විවාදය සඳහා එක්වූ ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සියලු පුරවැසියන්ට කනගාටුව ප්‍රකාශ කරන බවයි. මෙම අවස්ථාවේදී සියලු දෙනා පොදු හැඟීමෙන් කටයුතු කළ යුතු බවත් මේ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කළ ආරක්ෂක අංශ සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාට ආණ්ඩුව ලෙස කෘතවේදීත්වය පිරිනමන බවයි. එමෙන්ම මෙහිදී අතිශයින් වැදගත් වන්නේ පොදු හැඟීම බව ද ඇමැතිවරයා අවධාරණය කළේය. එම පොදු හැඟීමත් සමඟ වැඩකිරීම හේතුවෙන් මෙම ව්‍යසනය අවම කරගැනීමට හැකි වූ බවත් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, ආපදා කළමනාකරණ අංශයට අදාළ ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන බව ද ඇමතිවරයා කීය. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත්වූ සමස්ත දරුවන් කෙරෙහි අවධානය යොමුකරමින් උසස්පෙළ විභාගය පවා කල් දැමීමට ආණ්ඩුව තීරණය කළ බව ද ඒ මහතා පැවසීය. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු ප්‍රාදේශීය ලේකම්වරියන් නිදිවර්ජිතව මේ වෙනුවෙන් කටයුතු කළ බව ද ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.