නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ, රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද(05) අලුයම මෙම සොයා ගැනීම සිදු කර තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙරට හෝටලයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකි.
සැකකරු අද අලුයම 12.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔහු , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී, රේගු නිලධාරීන් විසින් වට කොට අල්ලා ගැනීමට පියවර ගෙන තිබේ.
එහිදී සැකකරු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත් වූ අතර එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කළ අතර , මෙම ගුවන් මගියාට තරයේ අවවාද කර නිදහස් කිරීමට ද පියවර ගෙන තිබුණි.
කටුනායක ටී.කේ.ජී.කපිල