පොලිස් වසම් පහක සොරකම් රැසකට සම්බන්ධ භාෂා 7 ක හසල දැනුමක් ඇති සංචාරක මඟ පෙන්වන්නකු රුපියල් ලක්ෂ 60 කට අධික සොරාගත් දේපළ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු එලෙස සොරාගෙන තිබූ නවීන මාදිලියේ ලැප්ටොප් පරිගණක හතක් , පාපැදි තුනක් , රූපවාහිනි යන්ත්‍රයක් , ජංගම දුරකථන , රුපියල් ලක්ෂ පහකට ආසන්න තීන්ත තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
කොල්ලුපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයක් වන්දනාමාන කිරීම සඳහා පැමිණි විශ්වවිද්‍යාල සිසුවකුගේ ලැප්ටොප් පරිගණකයක් අඩංගු බෑගයක්, ලැප්ටොප් පරිගණකයක් නැති බෑගයක් තබා පුද්ගලයකු ඉතා සූක්‍ෂම අයුරින් රැගෙන යන අයුරු එහි සවි කර තිබූ සීසිටීවී කැමරාවක සටහන්ව තිබිණි.
එම දර්ශනවල සිටින පුද්ගලයා දෙහිවල වැල්ල ප්‍රදේශයේ නිවසක දිවි ගෙවන පුද්ගලයකු බවට පොලිස් සැරයන් 60161 වසන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉකුත් වසරක පමණ කාලය තුළ සිදු වූ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයා බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බම්බලපිටිය, කොල්ලූපිටිය, වැල්ලවත්ත, ගල්කිස්ස හා දෙහිවල පොලිස් වසම්වල සැකකරු කළ සොරකම් අටක තොරතුරු අනාවරණය කළ අතර ඒවායෙන් සොරාගත් දේපලද සැකකරු පදිංචිව සිටි නිවස තුළ හා ස්ටේට්පුර, දෙහිවල, ගල්කිස්ස හා කොහුවල ඇතුළු කොළඹ අවට පදිංචි පුද්ගලයන්ට අඩු මුදලට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාත්තන්ඩියේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සංචාරක මගපෙන්වීමේ රැකියාව සිදු කරද්දී කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය දැඩිව ඇබ්බැහිව ඇති බවත්, ඊට විශාල මුදලක් වැය වෙන බැවින් හොරෙන් මත්කුඩු පානයට යොමුව මේ වන විට දිනකට මත්කුඩු පැකට් 10/15 ක් අතර ප්‍රමාණයක් පානය කිරීමට පුරුදු වී ඇති බවත් පොලීසිය පැවසීය. 32 හැවිරිදි සැකකරු ඉංග්‍රීසි, දෙමළ, සිංහල, හින්දු, අරාබි, රුසියන් හා ජර්මන් භාෂාවෙන් කතා කිරීමේ නිපුණත්වයක් ලබා ඇත්තෙකු බවද පොලිසිය සඳහන් කරයි.