මහාචාර්ය විනී විතාරණයන්ගේ 5 වැනි සමරුව නිමිත්තෙනි
නූතනයේ මෙරට භාෂා ශාස්ත්‍ර විෂයකවැ මහත් පරිහානියක් දක්නා ලැබෙති යි යනු නිතර අසන්නට ලැබෙන කියමනෙකි. මඳ විමැසුමෙකින් වුව ද
එ කියමනෙහි සත්‍යතාව වටහා ගත හැකි වෙයි. එයට බෙහෙවින් හේතු වැ ඇත්තේ භාෂා ශාස්ත්‍ර විෂයයෙහි ප්‍රවීණ කෘතහස්තයන් දුර්ලභ වීමයි. දැන් මෙ රට බෙහෙවින් සිටින්නේ නම් තමන්ගේ විෂයය – එය ද මුළුමනින් නොව, එහි එක් කොටසක් පමණක් – දන්නා විද්වත් ප්‍රතිරූපකයෝ යි. බොහෝ සරසවි ඇදුරනුදු වැටෙනුයේ ඒ ගණයට ම ය.
තතු එබඳු වැ පවත්නා කලෙක, මෙයින් පස් වසරකට පෙර මෙලෝ හළ මහඇදුරු විනී විතාරණ සූරීන් වැන්නෝ කතරෙක කෙම්බිම් සෙයින් ඉතා දුලබ වැ දක්නා ලැබෙන්නෝ යි. යටැ කී භාෂා ශාස්ත්‍ර පරිහානිය ඇති වනුයේ ද මෙබන්දන්ගේ වියොවින් ඇති වන හිදැස පිරැවීමෙහි සමත් වියතුන් පහළ නොවනු ඇතැයි කිව හොත් වරදක් නොවේ.
විනී විතාරණයෝ වනාහි විෂය ගණනාවෙක එක් බඳු ප්‍රවීණත්වයත්, නෛපුණ්‍යයක් දැක්වූ විශිෂ්ට විද්වතෙකි. වෘත්තීය වශයෙන් එතුමෝ සිංහල භාෂාව පිළිබඳ වැ විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ධුරයක් දැරූහ. කිසිදු විටෙක ස්වකීය නිල විෂයයට සීමා නොවූ එතුමේ පුරාවිද්‍යාව, ඉතිහාසය, මානව විද්‍යාව, භූගෝලය ආදි විෂය ගණනාවෙක ද ඉංගිරිසි බසෙහි ද එක සේ ප්‍රාමාණික ඥානයක් ඉසුලූහ.
1928 ජූනි 2 වැනි දා තංගල්ලේ පල්ලික්කුඩාවේ දී උපන් විනී විතාරණයෝ තංගල්ලේ ක්‍රිස්තුදේව, ගාල්ලේ මහින්ද විදුහල්වලින් ඉගැන්ම ලබා පසුව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වැ එයින් ශාස්ත්‍රවේදි උපාධිය ලදහ. විවිධ විෂයයක ශූරත්වය එ තුරුණු කල්හිම පළ කළ එතුමෝ, ගෞරව උපාධි ලද සිය සගයන් එක් විෂයයකින් දර්ශන විශාරද උපාධිය ලබන කල්හි තුමූ සිංහලය ය, භූගෝල විද්‍යාව ය යන විෂයද්වයයෙන් ම දර්ශන විශාරද උපාධි ලදහ.
මුලින් සිංහල විශ්වකෝෂ කාර්යාලය, ගල්කිස්සේ සාන්ත තොමොසු විදුහල ඈ තන්හි මෙහෙ කළ එ තුමෝ පසු වැ විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් ලදහ. එතුමන් එ මෙහෙවරින් ඉසිඹු ලදුයේ රුහුණු සරසවියේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන වැ සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙසිනි. ඉන් පසු දු සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක ආදි පදවි ගණනක් හෙබැවූ එතුමෝ නිශ්ශරණධ්යාශයෙන් ම සිය මහඟු මෙහෙවර මවුබිමට නොපැකිළ ව පිරිනැමූ අද්විතීය ශාස්ත්‍රඥයෙක් වූහ.
විනී විතාරණයන් ග්රන්ථකරණයට බටුයේ තුරුණු කල්හිදී ම ය. එඩ්වින් ආනෝල්ඩ් වියතුන්ගේ ආසියාවේ ආලෝකය (Light of Asia) සිංහල ගද්‍යයට පෙරළා ලියූ ‘ආසියා එළිය’ එතුමන්ගේ මුල් ම ග්‍රන්ථය යි. ඉනික්බිති වැ සිංහල – ඉංග්‍රීසි දෙබසින් ම මහාර්ඝ ග්‍රන්ථ බොහෝ ගණනක් එතුමන්ගේ පෑනින් ලියැවී එළිදුටුයේ ය. භූගෝල විද්‍යා ශබ්දකෝෂය, සිතුවම් භූගෝලය, ලිපි අට, හිරෝෂිමාව, ආසියා පෙහෙළිය (යට කී ආසියා ආලෝකයෙහි පැදි පෙරැළිය), ගොඩමානෙල, මිදි විත, රුබෙයියාතය, ගීතාඤ්ජලිය (පරිවර්තන), මේඝ රාගය, බලියාගය, පබඳ අත්වැල, පදය වාක්‍යය හා ඡේදය, වියරණ විසිතුර, හාදුව, අමර සමරුව යන සිංහල ග්‍රන්ථ ද Night of Doom,Thotagamuwa Sun and Moon in Sinhala Culture, The Oru and Yathra, Geographical Vision – Sri Lanka, Sri Lanka Maldivian Cultural Affinities යන ඉංගිරිසි පොත් ද එතුමන් අතින් ලියැවී පළ විය.
ඉංගිරිසියෙහි මහත් සාමර්ථ්‍යයක් දැක්වූ විනී විතාරණයන් අතින් සිදු වූ මහාර්ඝ සේවාවක් නම් සිංහලයේ සම්භාව්‍ය ගද්‍ය, පද්‍ය ග්‍රන්ථ ගණනාවක් ඉංගිරිසියට පෙරළා ලෝක පාඨක සමූහයා වෙත පිළිගැන්වීමයි. අවසනට පළ කළ සද්ධර්මරත්නාවලී ඉංගිරිසි පරිවර්තනය එ සේවාවෙහි කූටප්‍රාප්තිය වී ය.
එතුමන් දැරූ ගරු තනතුරු අතර ලංකා කලා
මණ්ඩලයෙහි සභාපති, සිංහල සාහිත්‍ය මණ්ඩලයෙහි සභාපති, ජාතික අධ්‍යාපන ආයතනයෙහි උපදේශක, රාජකීය ආසියාතික සමිතියෙහි උපසභාපති, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයෙහි සභාපති, හෙළ හවුලෙහි අනුනයු ආදිය වෙසෙසින් සැලැකිය යුතු ය.
ස්වකීය අතුල්‍ය භාෂා ශාස්ත්‍ර සේවාව උදෙසා එතුමෝ නොයෙක් ගරු සම්මානයෙනුදු පිදුම් ලදහ. සේවාර්ජිත මහාචාර්ය පදවිය, ගෞරව ආචාර්ය උපාධිය, කලා කීර්ති, උරුම ප්‍රසාද ප්‍රණාම යන රාජ්‍ය සම්මාන, යුනෙස්කෝ සම්මානය, සමස්ත ලංකා බෞද්ධ සම්මේලන සම්මානය ආදිය ඒ අතර උසස්තම සේ ගත හැකි ය.
අප්පිච්ච සන්තුට්ඨ ගුණයට ස්වකීය ජීවිතය මනා නිදර්ශනයක් කළ උදාර ගුණසම්පන්නයකු වූ විනී විතාරණයෝ වනාහි ප්‍රාචීන ඥානයත්, ප්‍රතිචීන පර්යේෂණ මාර්ගයත් යන දෙකෙහි ම එක සේ හසළ අද්විතීය විද්වතෙකි. අද මෙරට ශාස්ත්‍රීය පර්යේෂණ ක්ෂේත්රයෙහි පවත්නා මහත් ම අඩුව නම් එබන්දන් නැති වීම යි.
ශ්‍රීනාත් ගණේවත්ත