පොලිස් සේවාව මෙරට ස්ථාපිත වන්නේ ඉංග්‍රීසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගැනීමත් සමඟිනි. ඒ ක්‍රිස්තු වර්ෂ 1796දීය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මුල්ම පොලිස් ස්ථානය ලෙස සැලකෙන්නේ මරදාන පොලිස් ස්ථානයයි. එහෙත් අපේ රටේ විධිමත් ආකාරයට ව්‍යවස්ථාපිතව පොලීසියක් ක්‍රියාත්මක වූයේ යැයි සැලකෙන්නේ 1866 සැප්තැම්බර් මස 03 වැනිදා සිටයි. එදා පත්වන පළමු පොලිස්පති ලෙස සැලකෙන්නේ ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මහතාය. එතැන් සිට ගෙවී ගිය වසර 158ක ඉතිහාසයේ පොලිස්පතිවරුන් 36 දෙනෙක්ගේ නායකත්වය පොලිස් සේවාවට ලැබී ඇති බව පොලිස් ඉතිහාස තොරතුරුවල සඳහන්ය.
36 වැනි පොලිස්පතිවරයා වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති බැවින් වර්තමානයේ පොලීසියේ නියමුවා ලෙස කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය. ඔහුගේ පත්වීම ද සුවිශේෂී වේ. වසර 158ක ඉතිහාසයේ වැඩබලන පොලිස්පතිවරුන් කොතරම් පත්ව ඇතත් ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් ඉතිහාසයේ සුවිශේෂී වන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව මෙතරම් දුරක් ආ ශ්‍රී ලංකා පොලීසියේ මෙතෙක් බිහි වූ එකම නිලධාරියා වූ නිසාවෙනි. ඔහු මේ තැනට එන්නේ ද කොස්තාපල් තනතුර මෙන්ම උප පොලිස් පරීක්ෂක ධුරය ද දරාය. මේ වාර්තාව අනාගතයේදීවත් බිඳ දැමීමට හැකි නිලධාරියෙක් බිහිවනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.
මේ සටහන් තබන්නට යන්නේ පොලිස්පතිවරුන් ගැන හෝ වැඩබලන පොලිස්පතිවරයා ගැන නොවෙයි. අපේ රටේ කාන්තා පොලිස් නිලධාරිනියන් ගැනය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය අලුත් කරමින් කාන්තා පොලිස් නිලධාරිනියන්ට පොලීසියේ ඉහළ පුටුවලට යන්නට අවස්ථාව සැලසී හමාරය. ඇතැම් කුහක පිරිමි පොලිස් නිලධාරින් කාන්තා නිලධාරිනියන්ට පොලීසියේ ඉහළට පැමිණීමට ඇති අවස්ථා අහුරමින් කාන්තාවන්ට සම තැන දීමට එරෙහි වූවත් ඒ සියල්ල බිඳ දමමින් කාන්තාවන්ට සමතැන දීමට මුල් වූ පොලිස්පතිවරුන් අතර පූජිත් ජයසුන්දර සහ සී. ඩී. වික්‍රමරත්න මහත්වරුන් ඉතිහාසගතව හමාරය. කාන්තා නිලධාරිනියන්ට ඉහළට එන්නට ඔවුන් පාර කපන්නේ අනාගතයේ යම් දිනක කාන්තා නිලධාරිනියකට පොලිස්පති ධුරයට එන්නට හැකි ආකාරයටයි. සී. ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරය දරමින් සිටියදී ඔහු කාන්තා නිලධාරිනියන්ට පොලිස් ස්ථානාධිපති ධුරය දීමට වැඩසටහනක් ද ආරම්භ කළේය. ඊට එවකට මහජන ආරක්ෂක ඇමැති ලෙස සේවයේ නිරතව සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් ලැබී තිබුණේ නොමඳ සහායකි. ඒ අනුව ගම්පහ, නාල්ල පොලිස් ස්ථානය ස්ථාපිත කෙරෙන්නේ එහි ස්ථානාධිපති ලෙස පොලිස් පරීක්ෂිකාවක් වන කාංචනා සමරකෝන් මහත්මිය පත්කරමිනි. ශ්‍රී ලංකා පොලීසියට ඉතිහාසයේ පළමුවරට උප පොලිස් පරීක්ෂිකාවන් 1997 වසරේ බඳවා ගන්නා විට එම කණ්ඩායමේ සිටි සාමාජිකාවක් වූ ඇය දක්ෂ ලෙස පිරිමි පොලිස් නිලධාරින්ට අභියෝගයක් එල්ල වන ආකාරයට පොලිස් ස්ථානය මෙහෙයවුවත් අද වන විට රට පුරා ඇති පොලිස් ස්ථාන 607න් කිසිදු පොලිස් ස්ථානයක කාන්තා නිලධාරිනියක් පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව නැත.
දැඩි ස්ථාවරයක්
කාන්තා පොලිස් නිලධාරිනියක් පොලිස්පති ධුරය දක්වා ඉහළට ආ යුතු බවට දැඩි ස්ථාවරයක සිටි පොලිස්පතිවරයෙක් වන්නේ සී. ඩී. වික්‍රමරත්න මහතාය. ඒ අවස්ථාවේදී බොහෝ අය ඔහු දෙස බැලුවේ අවඥාසහගතවයි. නමුත් ඔහු සිය ස්ථාවරය වෙනස් නොකළේය. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියක්, නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිව්දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් 12 දෙනෙක් වශයෙන් පොලීසියේ කාන්තා නිලධාරින්ට ඉහළට ඒමට අවශ්‍ය අනුමැතිය හිමිවන්නේ ඒ අනුවයි. ඒ 2021 අගෝස්තු මස 12 වැනිදාය. ඒ වන විටත් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස බිම්සානි ජාසිංහ ආරච්චි මහත්මිය සේවයේ නිරතව සිටියාය. ඇය ඒ තනතුර හිමි කර ගත්තේ 2020දීය. එය ද ස්ථිර තනතුරක් නොවීය. ඒ වැඩබලන පදනමිනි. එම තනතුර පවා ඇයට දීම සම්බන්ධයෙන් උරණ වූ පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙක් එවකට සිටි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට එන්තරවාසියක් යොමු කරන්නේ එම පත්වීම වැරදි බව සඳහන් කරමින් රුපියල් මිලියන 05ක වන්දියක් ද ඉල්ලමිනි.
ඒ සියලු චෝදනා සහ අපහාස මැද සී. ඩී. වික්‍රමරත්න මහතා එකක්ව පැවති කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධුර ගණන 04ක් බවට පත් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයක් ද කාන්තාවන් වෙනුවෙන් වෙන්කරමින් කාන්තාවකට පොලිස්පති ධුරය දක්වා ගමන් කිරීමට අවස්ථාව සලසමිනි.
බිම්සානි ජාසිංහ ආරච්චි මහත්මියට අමතරව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින රේණුකා ජයසුන්දර, පොලිස් සුබසාධන අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජයන්තා පද්මිණි වීරසූරිය සහ පර්යේෂණ හා තොරතුරු අංශයේ ප්‍රධානී නිශානි සෙනෙවිරත්න යන මහත්මීන්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නට අවස්ථාව ලැබෙන්නේ ඒ අනුවයි. අද වන විට ශ්‍රී ලංකා පොලීසියේ බැබළෙන චරිත වන මේ නිලධාරින් නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වන්නේ ද බිම්සානි මෙන්ම වැඩබලන පදනම මතයි. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලැබීමේදී සම්පූර්ණ කළ යුතු කාලය මේ නිලධාරින් ඒ වන විට සම්පූර්ණ කර නොමැතිව සිටි බැවිනි. නමුත් අද වන විට මේ අයගේ කාලය සම්පූර්ණ වී තිබේ. ලබන වසරේදී බොහෝ විට මේ නිලධාරිනියන්ට ස්ථිර ලෙස නියෝජ්‍ය පොලිස්පති ධුර සඳහා පත්වීම් ලැබෙනු ඇත. සැබෑ ලෙසම මේ නිලධාරිනියන් ඉතිහාසගත වන්නේ එවිටයි.
මේ නිලධාරිනියන් සිව්දෙනා අතර සිටින නිශානි සෙනෙවිරත්න මහත්මිය වැඩිම කාලයක් සේවයේ නිරතව සිට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේය. ඇය නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබන්නේ එහි සේවයේ සිටියදීය. එසේම ජයන්තා පද්මිණි වීරසූරිය මහත්මිය ද මේ අය අතර සුවිශේෂී චරිතයකි. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ඉතිහාසයේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධුරය දරා ඇති එකම කාන්තා නිලධාරිනිය වීමයි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්සානි ජාසිංහ ආරච්චි මහත්මිය ද පොලිස් ඉතිහාසයේ වාර්තා අතරට එක්ව ඇත්තේ පළමු වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පමණක් නොව, ඇය සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස උසස්වීම් ලබන්නේ පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී පොලිසියේ අභ්‍යන්තර තරග විභාගයකින් සමත්ව සහකාර පොලිස් අධිකාරිවරියක් වෙමිනි. එසේ තරග විභාගයෙන් සමත්ව ඉහළට එන පොලීසියේ පළමු කාන්තා නිලධාරිනිය ලෙස සැලකෙන්නේ ද ඇයයි.
බිම්සානි මහත්මිය පොලිස් සේවයට එක්වන්නේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙසිනි. ඒ 1997 පෙබරවාරි මස 04 වැනිදාය. සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමේ තරග විභාගයට ඇය මුහුණ දෙන්නේ 2000 වසරේදීය. එම විභාගයෙන් ඇය ඉහළ ලකුණු ප්‍රතිශතයක් ගනිමින් සමත් වුවත් ඇයට එම තනතුර අහිමි වන්නේ පිරිමි නිලධාරින්ට පමණක් උසස්වීම් හිමිවීමේ පසුබිමක් හමුවේය.
ඇය තමාට වූ අසාධාරණයට එරෙහිව සටන් කළේ අධිකරණයට පවා ගොසිනි. දීර්ඝ නඩු විභාගයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද නියෝගයකට අනුව ඇය 2007දී සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස උසස්වීම් ලබන්නේ ද පොලිස් ඉතිහාසය අලුතින් ලියමිනි. අනතුරුව ඇය 2013දී පොලිස් අධිකාරිනියක් ලෙසත්, 2017 දෙසැම්බර් මස 31 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක් ලෙසත් උසස්වීම් ලැබුවාය. ඒ පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියන්ට මේ තරමට ඉහළට එන්නට මඟ සැලසූ ප්‍රමිලා දිවාකර මහත්මියගේ අඩි පාරේ යමිනි.
ආරම්භයේ පටන් පිරිමි නිලධාරින්ට පමණක් වෙන්ව තිබූ පොලිස් සේවාවට කාන්තාවන්ට දොරගුළු විවර වන්නේ විධිමත් පොලිස් සේවාවක් මෙරට ස්ථාපිත වී වසර 87කට පසුවයි. ඒ 1953 වර්ෂයේදීය. කාන්තාවන්ට ඒ අවස්ථාව එදා හිමි කර දෙන්නේ මෙරට 12 වැනි පොලිස්පතිවරයා වූ සර්. රිචඩ් අලුවිහාරේ මහතාය. අපේ රටේ පොලිස් සේවාවේ මුල්ම ස්වදේශීය පොලිස්පතිවරයා ලෙස සැලකෙන්නේ ද සර් රිචඩ් අලුවිහාරේ මහතාය. ඊට පෙර පොලිස්පති ධුරය දැරූවන් 11 දෙනාම ඉංග්‍රීසි ජාතිකයන්ය. අනුරාධපුර දිසාපති ලෙස සේවයේ නිරතව සිටි සර් රිචඩ් අලුවිහාරේ මහතා විසින් අපේ රටේ කතුන්ට පොලිස් සේවයේ දොරගුළු විවර කරන්නේ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිවුදෙනකු මුලින්ම පොලිස් සේවයට එක්කර ගනිමිනි. ඉතිහාසයේ තොරතුරුවල ලියැවී ඇති ආකාරයට අනුව මුල්ම පොලිස් කාන්තා නිලධාරිනිය ලෙස සැලකෙන්නේ සෝමා ගුණවර්ධන මහත්මියයි.
පොලිස් සේවය තුළ කාන්තාවන්ට එදා දොරගුළු විවර වූවත් ඒ අයට ඉහළට යන්නට ඉඩක් මුල්කාලයේ නොවීය. ඒ අවස්ථාව කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් පිරිමි නිලධාරින් සමඟ උරෙන් උර ගැටී උදා කර දෙන්නේ මෙරට පොලිස් ඉතිහාසය තුළ වාර්තා රැසක් තබා ඇති ප්‍රමිලා දිවාකර මහත්මියයි. ඇය පොලිස් සේවයට පොලිස් කොස්තාපල්වරියක් ලෙස එක්වන්නේ 1958දීය. ඒ පොලීසියට බඳවා ගත් පස්වැනි කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසිනි. ඇගේ කණ්ඩායමේ සාමාජිකාවෝ 13 දෙනෙක් සිටියහ. එම කාන්තා නිලධාරිනියන් සමඟ ඒ වන විට පොලිස් සේවාවේ සිටි සමස්ත කාන්තා නිලධාරින් ගණන 40කි. කොළඹට කේන්ද්‍රව සේවය කිරීමට මේ නිලධාරිනියන්ට අවකාශ ලැබෙන අතර, වැඩි දෙනෙක් යෙදවෙන්නේ පිළිගැනීමේ නිලධාරීන්ගේ සහ දුරකතන ක්‍රියාකරුගේ සේවා කටයුතු සඳහාය. ඊට අමතරව කොළඹ පාසල් අසල පදික මාරු අසල ඒ අයව සේවයට යෙදවෙන්නේ පාසල් දරුවන් පාර හරහා මාරුකරවන්නටයි.
පොලිස් ඉතිහාසයේ සඳහන් තොරතුරුවලට අනුව පොලීසියේ මුල්ම කාන්තා සැරයන්වරිය වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියයි. කාන්තා නිලධාරිනියන්ට පොලිස් සේවය තුළ ඉහළට යන්නට අවස්ථාව උදාවීමේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියගේ එම උසස්වීමයි. ඇයට එම උසස්වීම ලැබෙන්නේ පොලිසියට එක්ව වසර 13කට පසුවයි. ඇය එතැනින් සිය සටන අත්හැරියේ නැත. 1977දී පොලිස් සේවයේ පළමු කාන්තා උප පොලිස් පරීක්ෂිකාව ලෙස ද උසස්වීම් ලැබුවාය. අනතුරුව ඇය 1984 වසරේ පළමු පොලිස් කාන්තා පරීක්ෂකවරිය ලෙසත්, 1986දී ඇය පළමු කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව ලෙසත්, 1988 වසරේ පළමු කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙසත්, 1994දී පළමු කාන්තා පොලිස් අධිකාරිවරිය ලෙසත් ඇය පොලිස් සේවාවේ වාර්තා ගණනාවක් තබමින් ඉහළටම ගියාය. 1939 ජූනි මස 17 වැනිදා උපන් ප්‍රමිලා දිවාකර මහත්මිය වයස අවුරුදු 60 සැපිරීමත් සමඟ පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටියේ 1999දීය. ඒ වන විට ඇය සේවයේ නිරතව සිටියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙසිනි. ළමා හා කාන්තා කාර්යාංශයේ මුල්ම අධ්‍යක්ෂවරිය වන්නේ ද ඇයයි. එදා ඇයට අවුරුදු 60න් විශ්‍රාම ගන්නට ඉඩක් නොවූවාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කරමින් තවත් වසර තුනක් ඇය පොලිස් සේවය තුළ රඳවා ගත්තාය. ඒ අනුව ඇයට පොලිස් සේවාවෙන් විශ්‍රාම ගැනීමට සිදුවන්නේ 2002 වසරේදීය. ඇය දීර්ඝ කාලයක් පුරා පොලිස් සේවාව තුළ සටන් කළේ පොලීසියේ කාන්තාවන්ට සම තැන ගන්නටයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් ලෙස ඇයට ඉහළට එන්නට අවකාශ ලැබෙන්නේ ඇයට තිබූ ශක්තිය නිසාය. ඇය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කාන්තාවන්ට ඉහළට ඒමේ අවස්ථාව තිබුණේ උපරිම ලෙසින් අහුරාය. බිමිසාරි සටන් කරන්නේ ඒ සියල්ල බිඳ දමා පොලිස් සේවය තුළ කාන්තාවට සම තැන හිමිකර ගන්නටයි. පොලිස් කාන්තාවට ඇති අයිතීන් දිනා ගන්නටයි. ඇය ඒ සියලු බාධක බිඳ දමා 2017 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් ලෙස උසස්වීම් ලබන්නේ ප්‍රමිලා දිවාකර මහත්මිය විශ්‍රාම ගොස් වසර 15කට පසු කාන්තා නිලධාරිනියක් ඒ තැන හිමි කර ගනිමිනි. ඇගේ ඒ සටන නිසාම තවත් කාන්තා පොලිස් අධිකාරිවරියන් 08 දෙනකුට 2019දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය හිමිවන්නේ ජාතික පොලිස් කොමිසමේ ද සහාය ඇතිවයි. ඒ පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරය දරමින් සිටියදීය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එක්වර කාන්තා නිලධාරිනියන් මෙතරම් පිරිසකට මෙයට පෙර කිසිදු අවස්ථාවකදී උසස්වීම් දී තිබුණේද නැත. ඒ කාන්තා නිලධාරිනියන්ගේ උසස්වීම්වලට විවිධ බාධා කිරීම් නිරන්තරයෙන් සිදු වූ බැවිනි.
එසේ උසස්වීම් ලබන්නේ එකල රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිටි තිළිණා ජයවර්ධන, මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිනියන් ලෙස සේවයේ නිරතව සිටින රේණුකා ජයසුන්දර, පද්මිණී වීරසූරිය සහ එකල පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ධිමතී පෙරියප්පෙරුම, එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී ලෙස සේවයේ නිරතව සිටි දර්ශිකා කුමාරි, රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්යක්ෂික නිශානි සෙනෙවිරත්න, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ එකල නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දැරූ මදාරා ආරියසේන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ අධීක්ෂණ නිලධාරිනිය ලෙස එකල සේවයේ නිරතව සිටි ඉමේෂා මුතුමාලි යන පොලිස් අධිකාරිවරියන් අටදෙනාය.
(ඉතිරි කොටස හෙට පළ වෙයි)
ගයාන් කුමාර වීරසිංහ