Sunday, April 20, 2025
Home » ගෙදර හාමිනේට ‘පොලීසිය’ කිව්වාට දැන් ඇත්තටම පොලීසිය හාමිනේලාගේ

ගෙදර හාමිනේට ‘පොලීසිය’ කිව්වාට දැන් ඇත්තටම පොලීසිය හාමිනේලාගේ

මේ හතරෙන් කෙනෙක් පොලිස්පති වෙන ලකුණු

by Gayan Abeykoon
December 5, 2024 1:07 am 0 comment

පොලිස් සේවාව මෙරට ස්ථාපිත වන්නේ ඉංග්‍රී­සීන් විසින් මුහු­දු­බඩ ප්‍රදේශ අත්පත් කර­ගැ­නී­මත් සම­ඟිනි. ඒ ක්‍රිස්තු වර්ෂ 1796දීය. ඉති­හා­ස­ගත තොර­තු­රු­ව­ලට අනුව මුල්ම පොලිස් ස්ථානය ලෙස සැල­කෙන්නේ මර­දාන පොලිස් ස්ථාන­යයි. එහෙත් අපේ රටේ විධි­මත් ආකා­ර­යට ව්‍යව­ස්ථා­පි­තව පොලී­සි­යක් ක්‍රියා­ත්මක වූයේ යැයි සැල­කෙන්නේ 1866 සැප්තැ­ම්බර් මස 03 වැනිදා සිටයි. එදා පත්වන පළමු පොලි­ස්පති ලෙස සැල­කෙන්නේ ජෝර්ජ් විලි­යම් රොබි­න්සන් කැම්බල් මහ­තාය. එතැන් සිට ගෙවී ගිය වසර 158ක ඉති­හා­සයේ පොලි­ස්ප­ති­ව­රුන් 36 දෙනෙක්ගේ නාය­ක­ත්වය පොලිස් සේවා­වට ලැබී ඇති බව පොලිස් ඉති­හාස තොර­තු­රු­වල සඳ­හන්ය.

36 වැනි පොලි­ස්ප­ති­ව­රයා වන්නේ දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාය. ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නියෝ­ග­ය­කින් මේ වන විට දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුරයේ කට­යුතු කිරීම අත්හි­ටුවා ඇති බැවින් වර්ත­මා­නයේ පොලී­සියේ නිය­මුවා ලෙස කට­යුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාය. ඔහුගේ පත්වීම ද සුවි­ශේෂී වේ. වසර 158ක ඉති­හා­සයේ වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රුන් කොත­රම් පත්ව ඇතත් ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පොලිස් ඉති­හා­සයේ සුවි­ශේෂී වන්නේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක් ලෙස පොලිස් සේව­යට එක්ව මෙත­රම් දුරක් ආ ශ්‍රී ලංකා පොලී­සියේ මෙතෙක් බිහි වූ එකම නිල­ධා­රියා වූ නිසා­වෙනි. ඔහු මේ තැනට එන්නේ ද කොස්තා­පල් තන­තුර මෙන්ම උප පොලිස් පරී­ක්ෂක ධුරය ද දරාය. මේ වාර්තාව අනා­ග­ත­යේ­දී­වත් බිඳ දැමී­මට හැකි නිල­ධා­රි­යෙක් බිහි­වනු ඇතැයි විශ්වාස කළ නොහැ­කිය.

මේ සට­හන් තබ­න්නට යන්නේ පොලි­ස්ප­ති­ව­රුන් ගැන හෝ වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ගැන නොවෙයි. අපේ රටේ කාන්තා පොලිස් නිල­ධා­රි­නි­යන් ගැනය. ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සය අලුත් කර­මින් කාන්තා පොලිස් නිල­ධා­රි­නි­යන්ට පොලී­සියේ ඉහළ පුටු­ව­ලට යන්නට අව­ස්ථාව සැලසී හමා­රය. ඇතැම් කුහක පිරිමි පොලිස් නිල­ධා­රින් කාන්තා නිල­ධා­රි­නි­යන්ට පොලී­සියේ ඉහ­ළට පැමි­ණී­මට ඇති අවස්ථා අහු­ර­මින් කාන්තා­වන්ට සම තැන දීමට එරෙහි වූවත් ඒ සියල්ල බිඳ දම­මින් කාන්තා­වන්ට සම­තැන දීමට මුල් වූ පොලි­ස්ප­ති­ව­රුන් අතර පූජිත් ජය­සු­න්දර සහ සී. ඩී. වික්‍ර­ම­රත්න මහ­ත්ව­රුන් ඉති­හා­ස­ග­තව හමා­රය. කාන්තා නිල­ධා­රි­නි­යන්ට ඉහ­ළට එන්නට ඔවුන් පාර කපන්නේ අනා­ග­තයේ යම් දිනක කාන්තා නිල­ධා­රි­නි­ය­කට පොලි­ස්පති ධුර­යට එන්නට හැකි ආකා­ර­ය­ටයි. සී. ඩී. වික්‍ර­ම­රත්න පොලි­ස්පති ධුරය දර­මින් සිටි­යදී ඔහු කාන්තා නිල­ධා­රි­නි­යන්ට පොලිස් ස්ථානා­ධි­පති ධුරය දීමට වැඩ­ස­ට­හ­නක් ද ආරම්භ කළේය. ඊට එව­කට මහ­ජන ආර­ක්ෂක ඇමැති ලෙස සේවයේ නිර­තව සිටි රියර් අද්මි­රාල් සරත් වීර­සේ­කර මහ­තා­ගෙන් ලැබී තිබුණේ නොමඳ සහා­යකි. ඒ අනුව ගම්පහ, නාල්ල පොලිස් ස්ථානය ස්ථාපිත කෙරෙන්නේ එහි ස්ථානා­ධි­පති ලෙස පොලිස් පරී­ක්ෂි­කා­වක් වන කාංචනා සම­ර­කෝන් මහ­ත්මිය පත්ක­ර­මිනි. ශ්‍රී ලංකා පොලී­සි­යට ඉති­හා­සයේ පළ­මු­ව­රට උප පොලිස් පරී­ක්ෂි­කා­වන් 1997 වසරේ බඳවා ගන්නා විට එම කණ්ඩා­යමේ සිටි සාමා­ජි­කා­වක් වූ ඇය දක්ෂ ලෙස පිරිමි පොලිස් නිල­ධා­රින්ට අභි­යෝ­ග­යක් එල්ල වන ආකා­ර­යට පොලිස් ස්ථානය මෙහෙ­ය­වු­වත් අද වන විට රට පුරා ඇති පොලිස් ස්ථාන 607න් කිසිදු පොලිස් ස්ථාන­යක කාන්තා නිල­ධා­රි­නි­යක් පොලිස් ස්ථානා­ධි­පති ලෙස සේවයේ නිර­තව නැත.

දැඩි ස්ථාවරයක්

කාන්තා පොලිස් නිල­ධා­රි­නි­යක් පොලි­ස්පති ධුරය දක්වා ඉහ­ළට ආ යුතු බවට දැඩි ස්ථාව­ර­යක සිටි පොලි­ස්ප­ති­ව­ර­යෙක් වන්නේ සී. ඩී. වික්‍ර­ම­රත්න මහ­තාය. ඒ අව­ස්ථා­වේදී බොහෝ අය ඔහු දෙස බැලුවේ අව­ඥා­ස­හ­ග­ත­වයි. නමුත් ඔහු සිය ස්ථාව­රය වෙනස් නොක­ළේය. මුදල් අමා­ත්‍යාං­ශයේ කළ­ම­නා­ක­රණ සේවා දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යක්, නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යන් සිව්දෙ­නෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රි­යන් 12 දෙනෙක් වශ­යෙන් පොලී­සියේ කාන්තා නිල­ධා­රින්ට ඉහ­ළට ඒමට අවශ්‍ය අනු­මැ­තිය හිමි­වන්නේ ඒ අනු­වයි. ඒ 2021 අගෝස්තු මස 12 වැනි­දාය. ඒ වන විටත් ශ්‍රී ලංකා පොලී­සියේ කාන්තා නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යක් ලෙස බිම්සානි ජාසිංහ ආරච්චි මහ­ත්මිය සේවයේ නිර­තව සිටි­යාය. ඇය ඒ තන­තුර හිමි කර ගත්තේ 2020දීය. එය ද ස්ථිර තන­තු­රක් නොවීය. ඒ වැඩ­බ­ලන පද­න­මිනි. එම තන­තුර පවා ඇයට දීම සම්බ­න්ධ­යෙන් උරණ වූ පොලී­සියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රුන් 14 දෙනෙක් එව­කට සිටි පොලි­ස්පති සී. ඩී. වික්‍ර­ම­රත්න මහ­තාට එන්ත­ර­වා­සි­යක් යොමු කරන්නේ එම පත්වීම වැරදි බව සඳ­හන් කර­මින් රුපි­යල් මිලි­යන 05ක වන්දි­යක් ද ඉල්ල­මිනි.

ඒ සියලු චෝදනා සහ අප­හාස මැද සී. ඩී. වික්‍ර­ම­රත්න මහතා එකක්ව පැවති කාන්තා නියෝජ්‍ය පොලි­ස්පති ධුර ගණන 04ක් බවට පත් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යක් ද කාන්තා­වන් වෙනු­වෙන් වෙන්ක­ර­මින් කාන්තා­ව­කට පොලි­ස්පති ධුරය දක්වා ගමන් කිරී­මට අව­ස්ථාව සල­ස­මිනි.

බිම්සානි ජාසිංහ ආරච්චි මහ­ත්මි­යට අම­ත­රව පොලිස් ළමා හා කාන්තා කාර්යාං­ශයේ ප්‍රධා­නියා ලෙස සේවයේ නිර­තව සිටින රේණුකා ජය­සු­න්දර, පොලිස් සුබ­සා­ධන අංශයේ ප්‍රධා­නියා ලෙස සේවයේ නිරත ජයන්තා පද්මිණි වීර­සූ­රිය සහ පර්යේ­ෂණ හා තොර­තුරු අංශයේ ප්‍රධානී නිශානි සෙනෙ­වි­රත්න යන මහ­ත්මීන්ට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන් වන්නට අව­ස්ථාව ලැබෙන්නේ ඒ අනු­වයි. අද වන විට ශ්‍රී ලංකා පොලී­සියේ බැබ­ළෙන චරිත වන මේ නිල­ධා­රින් නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට පත්වන්නේ ද බිම්සානි මෙන්ම වැඩ­බ­ලන පද­නම මතයි. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලි­ස්පති ධුරය දක්වා උස­ස්වීම් ලැබී­මේදී සම්පූර්ණ කළ යුතු කාලය මේ නිල­ධා­රින් ඒ වන විට සම්පූර්ණ කර නොමැ­තිව සිටි බැවිනි. නමුත් අද වන විට මේ අයගේ කාලය සම්පූර්ණ වී තිබේ. ලබන වස­රේදී බොහෝ විට මේ නිල­ධා­රි­නි­යන්ට ස්ථිර ලෙස නියෝජ්‍ය පොලි­ස්පති ධුර සඳහා පත්වීම් ලැබෙනු ඇත. සැබෑ ලෙසම මේ නිල­ධා­රි­නි­යන් ඉති­හා­ස­ගත වන්නේ එවි­ටයි.

මේ නිල­ධා­රි­නි­යන් සිව්දෙනා අතර සිටින නිශානි සෙනෙ­වි­රත්න මහ­ත්මිය වැඩිම කාල­යක් සේවයේ නිර­තව සිට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවා­වේය. ඇය නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට උස­ස්වීම් ලබන්නේ එහි සේවයේ සිටි­ය­දීය. එසේම ජයන්තා පද්මිණි වීර­සූ­රිය මහ­ත්මිය ද මේ අය අතර සුවි­ශේෂී චරි­ත­යකි. ඒ අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභා ඉති­හා­සයේ විම­ර්ශන අංශයේ අධ්‍යක්ෂ ධුරය දරා ඇති එකම කාන්තා නිල­ධා­රි­නිය වීමයි.

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළමු නියෝජ්‍ය පොලි­ස්ප­ති­නිය වන බිම්සානි ජාසිංහ ආරච්චි මහ­ත්මිය ද පොලිස් ඉති­හා­සයේ වාර්තා අත­රට එක්ව ඇත්තේ පළමු වැඩ­බ­ලන නියෝජ්‍ය පොලි­ස්ප­ති­නිය ලෙස පම­ණක් නොව, ඇය සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රි­යක් ලෙස උස­ස්වීම් ලබන්නේ පොලිස් පරී­ක්ෂි­කා­වක් ලෙස සේවයේ නිර­තව සිටි­යදී පොලි­සියේ අභ්‍ය­න්තර තරග විභා­ග­ය­කින් සමත්ව සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රි­යක් වෙමිනි. එසේ තරග විභා­ග­යෙන් සමත්ව ඉහ­ළට එන පොලී­සියේ පළමු කාන්තා නිල­ධා­රි­නිය ලෙස සැල­කෙන්නේ ද ඇයයි.

බිම්සානි මහ­ත්මිය පොලිස් සේව­යට එක්වන්නේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රි­යක් ලෙසිනි. ඒ 1997 පෙබ­ර­වාරි මස 04 වැනි­දාය. සහ­කාර පොලිස් අධි­කාරි ධුර­යට උසස් කිරීමේ තරග විභා­ග­යට ඇය මුහුණ දෙන්නේ 2000 වස­රේ­දීය. එම විභා­ග­යෙන් ඇය ඉහළ ලකුණු ප්‍රති­ශ­ත­යක් ගනි­මින් සමත් වුවත් ඇයට එම තන­තුර අහිමි වන්නේ පිරිමි නිල­ධා­රින්ට පම­ණක් උස­ස්වීම් හිමි­වීමේ පසු­බි­මක් හමු­වේය.

ඇය තමාට වූ අසා­ධා­ර­ණ­යට එරෙ­හිව සටන් කළේ අධි­ක­ර­ණ­යට පවා ගොසිනි. දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් ලද නියෝ­ග­ය­කට අනුව ඇය 2007දී සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රි­යක් ලෙස උස­ස්වීම් ලබන්නේ ද පොලිස් ඉති­හා­සය අලු­තින් ලිය­මිනි. අන­තු­රුව ඇය 2013දී පොලිස් අධි­කා­රි­නි­යක් ලෙසත්, 2017 දෙසැ­ම්බර් මස 31 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­නි­යක් ලෙසත් උස­ස්වීම් ලැබු­වාය. ඒ පොලිස් ඉති­හා­සයේ කාන්තා නිල­ධා­රි­නි­යන්ට මේ තර­මට ඉහ­ළට එන්නට මඟ සැලසූ ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යගේ අඩි පාරේ යමිනි.

ආර­ම්භයේ පටන් පිරිමි නිල­ධා­රින්ට පම­ණක් වෙන්ව තිබූ පොලිස් සේවා­වට කාන්තා­වන්ට දොර­ගුළු විවර වන්නේ විධි­මත් පොලිස් සේවා­වක් මෙරට ස්ථාපිත වී වසර 87කට පසු­වයි. ඒ 1953 වර්ෂ­යේ­දීය. කාන්තා­වන්ට ඒ අව­ස්ථාව එදා හිමි කර දෙන්නේ මෙරට 12 වැනි පොලි­ස්ප­ති­ව­රයා වූ සර්. රිචඩ් අලු­වි­හාරේ මහ­තාය. අපේ රටේ පොලිස් සේවාවේ මුල්ම ස්වදේ­ශීය පොලි­ස්ප­ති­ව­රයා ලෙස සැල­කෙන්නේ ද සර් රිචඩ් අලු­වි­හාරේ මහ­තාය. ඊට පෙර පොලි­ස්පති ධුරය දැරූ­වන් 11 දෙනාම ඉංග්‍රීසි ජාති­ක­යන්ය. අනු­රා­ධ­පුර දිසා­පති ලෙස සේවයේ නිර­තව සිටි සර් රිචඩ් අලු­වි­හාරේ මහතා විසින් අපේ රටේ කතුන්ට පොලිස් සේවයේ දොර­ගුළු විවර කරන්නේ කාන්තා පොලිස් කොස්තා­ප­ල්ව­රි­යන් සිවු­දෙ­නකු මුලින්ම පොලිස් සේව­යට එක්කර ගනි­මිනි. ඉති­හා­සයේ තොර­තු­රු­වල ලියැවී ඇති ආකා­ර­යට අනුව මුල්ම පොලිස් කාන්තා නිල­ධා­රි­නිය ලෙස සැල­කෙන්නේ සෝමා ගුණ­ව­ර්ධන මහ­ත්මි­යයි.

පොලිස් සේවය තුළ කාන්තා­වන්ට එදා දොර­ගුළු විවර වූවත් ඒ අයට ඉහ­ළට යන්නට ඉඩක් මුල්කා­ලයේ නොවීය. ඒ අව­ස්ථාව කාන්තා නිල­ධා­රි­නි­යන් වෙනු­වෙන් පිරිමි නිල­ධා­රින් සමඟ උරෙන් උර ගැටී උදා කර දෙන්නේ මෙරට පොලිස් ඉති­හා­සය තුළ වාර්තා රැසක් තබා ඇති ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යයි. ඇය පොලිස් සේව­යට පොලිස් කොස්තා­ප­ල්ව­රි­යක් ලෙස එක්වන්නේ 1958දීය. ඒ පොලී­සි­යට බඳවා ගත් පස්වැනි කාන්තා කණ්ඩා­යමේ සාමා­ජි­කා­වක් ලෙසිනි. ඇගේ කණ්ඩා­යමේ සාමා­ජි­කාවෝ 13 දෙනෙක් සිටි­යහ. එම කාන්තා නිල­ධා­රි­නි­යන් සමඟ ඒ වන විට පොලිස් සේවාවේ සිටි සමස්ත කාන්තා නිල­ධා­රින් ගණන 40කි. කොළ­ඹට කේන්ද්‍රව සේවය කිරී­මට මේ නිල­ධා­රි­නි­යන්ට අව­කාශ ලැබෙන අතර, වැඩි දෙනෙක් යෙද­වෙන්නේ පිළි­ගැ­නීමේ නිල­ධා­රීන්ගේ සහ දුර­ක­තන ක්‍රියා­ක­රුගේ සේවා කට­යුතු සඳ­හාය. ඊට අම­ත­රව කොළඹ පාසල් අසල පදික මාරු අසල ඒ අයව සේව­යට යෙද­වෙන්නේ පාසල් දරු­වන් පාර හරහා මාරු­ක­ර­ව­න්න­ටයි.

පොලිස් ඉති­හා­සයේ සඳ­හන් තොර­තු­රු­ව­ලට අනුව පොලී­සියේ මුල්ම කාන්තා සැර­ය­න්ව­රිය වන්නේ ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යයි. කාන්තා නිල­ධා­රි­නි­යන්ට පොලිස් සේවය තුළ ඉහ­ළට යන්නට අව­ස්ථාව උදා­වීමේ හැර­වුම් ලක්ෂ්‍යය ලෙස සැල­කෙන්නේ ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යගේ එම උස­ස්වී­මයි. ඇයට එම උස­ස්වීම ලැබෙන්නේ පොලි­සි­යට එක්ව වසර 13කට පසු­වයි. ඇය එතැ­නින් සිය සටන අත්හැ­රියේ නැත. 1977දී පොලිස් සේවයේ පළමු කාන්තා උප පොලිස් පරී­ක්ෂි­කාව ලෙස ද උස­ස්වීම් ලැබු­වාය. අන­තු­රුව ඇය 1984 වසරේ පළමු පොලිස් කාන්තා පරී­ක්ෂ­ක­ව­රිය ලෙසත්, 1986දී ඇය පළමු කාන්තා ප්‍රධාන පොලිස් පරී­ක්ෂි­කාව ලෙසත්, 1988 වසරේ පළමු කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රිය ලෙසත්, 1994දී පළමු කාන්තා පොලිස් අධි­කා­රි­ව­රිය ලෙසත් ඇය පොලිස් සේවාවේ වාර්තා ගණ­නා­වක් තබ­මින් ඉහ­ළ­ටම ගියාය. 1939 ජූනි මස 17 වැනිදා උපන් ප්‍රමිලා දිවා­කර මහ­ත්මිය වයස අවු­රුදු 60 සැපි­රී­මත් සමඟ පොලිස් සේව­යෙන් විශ්‍රාම ගැනී­මට නිය­මි­තව සිටියේ 1999දීය. ඒ වන විට ඇය සේවයේ නිර­තව සිටියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාං­ශයේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙසිනි. ළමා හා කාන්තා කාර්යාං­ශයේ මුල්ම අධ්‍ය­ක්ෂ­ව­රිය වන්නේ ද ඇයයි. එදා ඇයට අවු­රුදු 60න් විශ්‍රාම ගන්නට ඉඩක් නොවූ­වාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ධුර­යට උසස් කර­මින් තවත් වසර තුනක් ඇය පොලිස් සේවය තුළ රඳවා ගත්තාය. ඒ අනුව ඇයට පොලිස් සේවා­වෙන් විශ්‍රාම ගැනී­මට සිදු­වන්නේ 2002 වස­රේ­දීය.   ඇය දීර්ඝ කාල­යක් පුරා පොලිස් සේවාව තුළ සටන් කළේ පොලී­සියේ කාන්තා­වන්ට සම තැන ගන්න­ටයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රි­යක් ලෙස ඇයට ඉහ­ළට එන්නට අව­කාශ ලැබෙන්නේ ඇයට තිබූ ශක්තිය නිසාය. ඇය විශ්‍රාම ගැනී­මෙන් අන­තු­රුව කාන්තා­වන්ට ඉහ­ළට ඒමේ අව­ස්ථාව තිබුණේ උප­රිම ලෙසින් අහු­රාය. බිමි­සාරි සටන් කරන්නේ ඒ සියල්ල බිඳ දමා පොලිස් සේවය තුළ කාන්තා­වට සම තැන හිමි­කර ගන්න­ටයි. පොලිස් කාන්තා­වට ඇති අයි­තීන් දිනා ගන්න­ටයි. ඇය ඒ සියලු බාධක බිඳ දමා 2017 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රි­යක් ලෙස උස­ස්වීම් ලබන්නේ ප්‍රමිලා දිවා­කර මහ­ත්මිය විශ්‍රාම ගොස් වසර 15කට පසු කාන්තා නිල­ධා­රි­නි­යක් ඒ තැන හිමි කර ගනි­මිනි. ඇගේ ඒ සටන නිසාම තවත් කාන්තා පොලිස් අධි­කා­රි­ව­රි­යන් 08 දෙන­කුට 2019දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ධුරය හිමි­වන්නේ ජාතික පොලිස් කොමි­සමේ ද සහාය ඇති­වයි. ඒ පූජිත් ජය­සු­න්දර මහතා පොලි­ස්පති ධුරය දර­මින් සිටි­ය­දීය. ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ එක්වර කාන්තා නිල­ධා­රි­නි­යන් මෙත­රම් පිරි­ස­කට මෙයට පෙර කිසිදු අව­ස්ථා­ව­කදී උස­ස්වීම් දී තිබු­ණේද නැත. ඒ කාන්තා නිල­ධා­රි­නි­යන්ගේ උස­ස්වී­ම්ව­ලට විවිධ බාධා කිරීම් නිර­න්ත­ර­යෙන් සිදු වූ බැවිනි.

එසේ උස­ස්වීම් ලබන්නේ එකල රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිටි තිළිණා ජය­ව­ර්ධන, මේ වන විට නියෝජ්‍ය පොලි­ස්ප­ති­නි­යන් ලෙස සේවයේ නිර­තව සිටින රේණුකා ජය­සු­න්දර, පද්මිණී වීර­සූ­රිය සහ එකල පොලිස් මූල­ස්ථාන පරි­පා­ලන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටි ධිමතී පෙරි­ය­ප්පෙ­රුම, එකල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ ප්‍රධානී ලෙස සේවයේ නිර­තව සිටි දර්ශිකා කුමාරි, රාජ්‍ය බුද්ධි සේවයේ සහ­කාර අධ්‍ය­ක්ෂික නිශානි සෙනෙ­වි­රත්න, පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කයේ එකල නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දැරූ මදාරා ආරි­ය­සේන සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙස එකල සේවයේ නිර­තව සිටි ඉමේෂා මුතු­මාලි යන පොලිස් අධි­කා­රි­ව­රි­යන් අට­දෙ­නාය.

(ඉතිරි කොටස හෙට පළ වෙයි)

ගයාන් කුමාර වීර­සිංහ 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT