ය
ාන්තමට කුකුළන් හඬලන හඬ කලූට ඇසෙන්නට විය. අමාරුවෙන් එළිය වැටෙන්නට කළුවරත් සමඟ පොරබඳින හිමිදිරියේ සිහින් අරුණලු, පොල් අතු සෙවිලි කළ ගෙට සවි කොට ඇති ජනේල තහඩු නැති කවුළු තුළින් කලූ දුටුවාය. කුකුළා හඬලනු ඇසුණේ එක වරක් පමණක් නිසා ඔහු තෙවරක් හඬලන තුරුම කලූ නිදි පැදුරේම දකුණු ඇලයට හැරී ඊට මඳක් දුරින් ඇති බූරු ඇඳෙහි වකුටු වී නිදන චූටි දෙස බැලුවාය. ‘ මගේ කෙල්ලට සීතලයි වගේ. ‘ චූටි වකුටු වී ගුළි ගැසී නිදා සිටින අයුරු දුටු කලූ සිතුවාය. වැව් ඉතිරී යන්නට ඇදහැලුණු වර්ෂාව නිසාම තුරුවිල සහ කළුවිල පළාතම දැන් උදෑසනට මෙන්ම රාත්‍රියට ද ඉතා සීතලය. වෙනදා ගෙපැල අසල රැය පහන් වන තුරු දැල් වූ ගිනි මැළය දැල්වීම ද දැන් කලූට තහනම්ය. ගිනි මැළය දැල්වීම, අතුරේ යන ගමනක් වැනි බව කලූට තේරුණේ පසු ගිය කාලය පුරාවටම ගිනි මැළය නිවන්නට යැයි කියා තුවක්කු අතින් ගත් හමුදා ඇඳුම් ඇඟලා ගත් අය මෙන්ම නිරායුධ කොල්ලන් සහ කෙල්ලන්ද වරින් වර කලූට විධානය කර සිටි බැවිනි. පිරිමි පුළුටෙකුද නැති නිවසේ වෙසෙන වැන්දඹු කලූ සහ පියෙක් නැති චූටි ද ඔවුන්ගේ රාත්‍රී කාලයේ ආරක්ෂාව සඳහා මේ ගිනි මැළය කාලයක් තිස්සේ දල්වාලන්නට පුරුදුව සිටියහ. එහෙත් දැන් රටේ උද්ගතව ඇති තත්ත්වය මත ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව කෙසේ වෙතත් කණ්ඩායම් දෙකක් විසින් වරින් වර දෙනු ලැබූ අණට කීකරු වෙන්නට මේ අහිංසක ගැහැනුන් දෙදෙනාටම සිදු විය.
කුකුළා දෙවරක් හඬලන තුරු නොසිටි කලූ මුළු ඇඟ පුරාම පොරවාගෙන සිටි චීත්ත රෙද්ද ගෙන කර වටා ඇඟේ උඩු කොටස වැසෙන සේ පොරවා ගත්තාය. පාන්දර හතරට පමණ කුකුළා පළමු වර හඬලන හඬින් අවදි වන කලූ දවසේ වැඩ ආරම්භ කරන්නේ පැදුර මතම වාඩි වී බුදුන් සිහි කිරීමෙන් පසුවය. කිසි දිනක පන්සලකට ගොස් සිල් සම්මාදන් වී නැති කලූ, පංචශීලය මැනවින් රැක්කාය. සිහින් හඬින් තොල් මතුරමින් ගාථා කියමින් පැයක් පමණ බුදුන් වැන්දාය. ඇය ඒ සියල්ල කළේ උදෑසන හිරු පායන්නට පෙරය. ඇයට දවස ආරම්භ කරන්නට වෙලාව කිව්වේ අල්ලපු වත්තේ පුංචි රාලගේ ගෙදර කුකුළු කූඩුවේ ඉන්නා කුකුළාය. පන්සිල් ගැනීමෙන් පසු කලූගේ පළමු කාර්යය වන්නේ එළියේ පුංචි තහඩු දෙකකින් වට කොට ඇති මැටි ලිප දල්වා කළු පාට දුම් වැසී ඇති කේතලය ලිප තැබීමය. වතුර කේතලය උණු වන තුරු කලූ කිරි දොවන්නට අවැසි කිරි මුට්ටියද, එළදෙනගේ තන පුඩු සෝදන පරණ වී ගිය මට සිලුටු රෙදි කැබැල්ලද ගෙන දොර ළඟින් තබන්නීය. කලූගේ සහ චූටිගේ ජීවිතය ගෙන යන්නට ඔවුනට අවැසි කාසි පනම් ලැබුණේ සුද්දීගෙන් ගන්නා එළකිරි ගමේ ගෙවල්වලට විකිණීමෙනි. කලූ සමහර විටෙක ගෙවල්වලට ගොස් වංගෙඩියේ දමා මිරිස් තුනපහ කෙටුවාය. යමක් කමක් ඇති ගෙවල්වල ගැහැනු මුදල් පමණක් නොව කෑම ඇඳුම් මෙන්ම සබන් පවුඩර් ද කලූට දුන්නේ චූටිට දෙන ලෙස දන්වමිනි.
කලූ පැදුරේම හිඳ අඬ අදුරේ බුදුන් වඳිමින් සිටියාය. යාන්තමින් නැඟෙන සිහිල් සුළඟට සෙලවෙන වත්තේ පොල් ගසේ අතු සහ කොස් ගසේ අතු සෙලවෙන හඬ හැර කිසිදු ශබ්දයක් නැති ඒ හිමිදිරි උදෑසන කලූ හිතින් පමණක් ගාථා සිහි කරමින් බුදුන් වැන්දේ චුටිගේ නින්දට බධා වේ යැයි සිතූ නිසාවෙනි. කලූට හිතන්නට හැකි වූයේ පානාතිපාතා ‘ කියා පමණි. උඩු ගුවන සිසාරා, මහා පොළොව දෙදෙරවා නොනවතින විශාල ශබ්දය කලූගේ උදෑසන නිසංසල දැහැන බිඳ දැමුවේය. බූරු ඇඳේ සැපට නිදා සිටි චූටි ඇඳෙන් බිමට පැන්නා නොව විසි වුණා සේය. එය වෙඩි හඬවල් බවත් කුමක් හෝ නපුරු යමක් එදිනද සිදු වෙමින් පවතින බවත් කලූට දැනිණ. චූටි, කලූගේ අත් දෙකම අල්ලාගෙන ඇයගේ පපුවට හේත්තු වී හීල්ලුවාය. ‘ අම්මේ මට බයයි, හමුදාවෙන් මෙහාටත් එයිද?’
චූටි ඇසුවේ වෙව්ලන ස්වරයෙනි. ‘ඇයි අපි බය වෙන්නේ? ඇයි මෙහාට එන්නේ? කවුද මෙහාට එන්නේ?’ ප්‍රශ්නයට පිළිතුරු වෙනුවට ප්‍රශ්න කිහිපයකින්ම කලූ පිළිතුරු දුන්නාය. ‘අම්මේ පොඩ්ඩක් බලන්න ජනේලය ළඟට ගිහිල්ලා’ යැයි කියමින් චූටි කාමරය මුල්ලේ තබා ඇති පැදුරු මිටිය අසලට ගොස් ඉඳගත්තාය.
‘අපේ කඩුල්ල ළඟ ආමි එකෙන් පිරිලා’ පියන් සවි කර නැති ජනේලයේ චීත්ත රෙද්දෙන් දමා තිබූ තිර රෙද්ද අතරින් යාන්තමට බැලූ කලූ කීවාය.
‘මෙහාට එයිද අම්මේ?’ චුටි නැවතත් ඇසුවේ සිහින් ස්වරයෙනි. ‘ අපි මොකට බය වෙන්නද ‘ චූටි අසලට පැමිණි කලූ කොඳුරා කීවාය.
‘එත් මට බයයි’
‘ඒ මොකද බය නොවී ඉමු, ඔය කවුරි හරි කොල්ලෝ ටිකක් අල්ලාගෙන යන්න ඇවිල්ල වෙන්න ඇති.’ කලූ එසේ කීවේ අඳුරේම වුවද චූටිගේ මුහුණ දෙස විපරමින් බලමිනි. වෙඩි හඬ නොනවත්වාම ඈතින් ඇසෙන්නට විය. අඩුම ගණනේ කොල්ලන් සහ කෙල්ලන් විස්සක් තිහක් වෙඩි උණ්ඩවලට අසු වෙන්නට ඇති බවට කලූ අනුමාන කළාය. දැන් දැන් වෙඩි හඬ ඇසෙන්නේ ඈත වෙල් යාය දෙසින්ය. වෙනදා තෙවරක් හඬලන පුංචි රාළගේ කුකුළා අද දෙවතාවක් වර්ජනය කර ඇති සේය. කුකුළාගේ හැඬලීම නැතිවම ගමට එළිය වැටී ඇත. වෙඩි වරුසාවකින් මුළු ගමම භීතියට පත් වී ඇත. උදෑසන මිහිරි ගී ගයන කුරුල්ලන්ගේ ද උම්බෑ කියමින් ගස් වටේ දුවන ළපටි හරක් පැටවු ද කිසිදු හඬක් පිට නොකළහ. පිටතින් එන තමාගේ සතුරු බල්ලන් පලවා හරින්නට ගෙදරවල්වල හැදෙන නොනවත්වා බුරන බල්ලන්ගේ බිරුම් හඬවල් පමණක් හතර දෙසින් නොනැවතීම ඇසෙන්නට විය. එත් සිදු වූයේ කුමක් දැයි කිසිවෙකුත් නොදනී.
සිදු වූයේ කුමක් දැයි අසන්නට එහා ගෙදරින් මෙහා ගෙදරට යන්නට කිසිවෙකුත් බිය වූහ. කලූ නැවතත් ජනේලයේ රෙද්ද අතරින් යාන්තමට පාර දෙස බැලුවාය.
‘උන් යනවාද අම්මේ’ චූටි අසන විට කලූගේ හිතට කුකුසක් පැන නැඟිණ. චූටි උන් යැයි කියන්නේ කාටද , ආමි එකෙන් බව තමා කී විට ඇය වඩාත් බියට පත් වූයේ ඇයි? ‘මගේ පුතා මොකට බය වෙන්ඩද? අපි වැරදි කොරලා නැතුවා නේ.’ ජනේලයේ තිරය වසා දමමින් කලූ කීවාය.
කලූ චූටිට ආදරයට කීවේ පුතා කියාය. කලූට දුවටත් පුතාටත් දෙකටම ඉන්නේ චූටි විතරක්ම බව චූටි ද හොඳින්ම දනී. සිය මවගේ ප්‍රශ්නය නෑසුණා සේ සිටින්නට චූටි තීරණය කළාය.
කියාපන් පුතේ, උඹ මොනවවත්වලට සම්බන්ධ වුණේ එහෙම නැහැ නේද? කිසිවක්ම නොකී චූටි හෙමින් නැඟිට ජනෙල් රෙද්ද අතරින් පාර දෙස බැලුවාය. දැන් වැට කඩුල්ල ළඟ හෝ පේන තෙක් මානයේ කිසිවෙකුත් නැති සේය. මෙෙතක් වෙලා මුළු ගම ම වෙලා තිබූ පාළු මූසල නිහැඬියාව බිඳිමින් කලූගේ වැස්සිය සුද්දී උම්බෑ කීවාය. ඒ ඇසුණු කලූ කලබලයට පත් වූවාය. උදෑසන කිරි දොවනා අටියෙන් කලූ සුද්දී සහ ඇයගේ පැටවා වෙන් කර ගස් බඳින්නේ උදෑසනම නැඟිට තමාට ඇති පමණ කිරි දොවා ගැනීමෙන් පසු පැටවා ලිහා ඌට රිසි සේ මවගේ කිරි බොන්නට ඉඩ සලසා දෙමිනි. ඇය ඒ සියල්ල ඉර පායන්නටත් පෙර අවසන් කළ ද කිසි දිනක පැටවාට නොතබා කිරි සියල්ල නොගත්තාය. උදෑසන අඳුර දුරු වන්නටත් පෙර මව සහ පැටියා ආදරෙන් සෙල්ලම් කරනු දැකීම කලූට ඉමහත් සතුටක් ගෙන ආවේය. ඒත් අද කිරි දොවන්නට කලූ එළියට නොපැමිණීම නිසා තම පැටවා කුසගින්නේ බව දන්නා එළදෙන නොනවත්වා උම්බෑ කීවාය.
උදෑසන ඇති වූ භීතියත්, චූටි පිළිබඳව හිත තුළ ඇති කුකුසත් නිසා කලූ එදින කිරි දෙවීම අතහැර දැමුවාය. කුස්සියේ පැලලි දොර හෙමින් ඉවත් කොට ගේ පිළිකන්නේ කොස්ගහට ලණුවකින් බැඳ සිටි සුද්දිගේ පැටියාව නිදහස් කළාය. පැටියා එක පිම්මේ දිව ගොස් ඉමහත් සතුටින් සුද්දිගේ තන පුඩුවලට අනිමින් කිරි උරා බොන්නට විය. එදෙස මඳ වෙලාවක් බලා සිටි කලූ ගමේ ඈතින් ඇසෙන මහා විලාප හඬ ඇසී ඒ වෙතට කන් යොමු කළාය. ඒ අතරම දුටු දෙයින් තැති ගත් කලූ කිසිවක්ම නොදොඩා බලා සිටියේ කුස්සියේ දොර ළඟින් පිට වී පාරට යන්නට සැරසෙන චුටි දැකීමෙනි.
‘මේ මොකද කොහේ යන්නද පුතේ’
‘ළඟට ගිහිල්ලා එන්නම්’
‘මොන ළඟටද ? උඹ මට හංගනවා නේද? උඹ මොනවා හරි හොර වැඩක් කරනවා නේද?’
‘නැහැ අම්මේ, මම ඉක්මනටම එනවා.’ එසේ කියමින් චූටි පිම්මේ පාර දෙසට දුවන්නට වූවාය.
‘මේකිට මේ මොන යකෙක් වැහිලාද’
තමාටම කියාගනිමින් කලූද චූටිව ලුහුබඳිමින් ඇය පිටු පස වේගයෙන් ඇවිද ගියාය.
වෙඩි හඬ මැකී ගොස්ය. ගමේ මිනිසුන් සිව් දෙසින් කෑ මොර දෙමින් වෙල් යාය දෙසට දිව එමින් සිටියෝය. චූටි දුවන වේගයට කලූට දුවන්නට නොහැකිය. ඒත් කලූද වේගයෙන් ඇවිදීම අතහැරියේ නැත. චූටිව ලුහුබඳිමින් යන කලූගේ හිතට කියා නිම කළ නොහැකි මහා මූසල, භයංකාර සිතිවිලි ඇතුළු වෙමින් තිබේ. ‘අනේ මගේ කෙල්ලත් පැටලුණාද එහෙනම් මේ වැඩවලට’ ඇවිද යන ගමනේ වේගය වැඩි කරන ගමන් කලූ සිතුවාය . කලූ ඇවිදිනවාට වඩා වේගයෙන් කලූගේ සිතිවිලි එකක් මත එකක් ඉපදී ඇයගේ සිත බිය වැද්දුවාය. ඒ සමඟින් පෙර දිනවලදී ගමේ සහ අල්ලපු ගම්වල වූ බොහෝ භයංකාර සිද්ධීන් කලූගේ මුළු හිතම වෙළාගන්නට විය. ගුණතිලක පවුලේ කොල්ලන් තුන්දෙනෙක්ම ඒ අම්මට අහිමි වූ හැටිත්, එක පුතෙකුගේ මළ මිනිය මුහුණේ පිලිස්සුම් ඇතිව ශ්‍රාවස්තිපුරෙන් මහා පාරේ තිබී හමු වූ හැටිද ඇයට සිහි විය. රජයේ හමුදාවන් විසින් ඔහුගේ මළකඳ පාරේ දමා ගොස් තිබුණේ උපක්‍රමයක් ලෙස බව වැටහුණේ මරා දැමූ ඔහුගේ මිනිය බලන්නට වත්ත පහළින් පැමිණ හොරෙන් ගෙට ඇතුළු වූ වැඩිමල් සොයුරා වැටලූ පොලිසිය සහ ඔහු අතර වෙඩි හුවමාරුවක් වීමෙනි. එම අවස්ථාවෙන් ඔහු පලා ගියද පසුකාලීනව කළ යුද හමුදා වැටලීමකින් පසුව අත්අඩංගුවට ගෙන වධ දී ඔහුවද මරා දැමූ බව ගම්මු දනිති. ඉතා අසන්න කාලයකදී සිදු වූ මේ සියලු දේ සිහියට නැඟීමෙන් කලූගේ ඔළුව කැරකෙන්නට විය.
හූ තියමින්, කෑ ගසමින් ගැහැනුන් මිනිසුන් මෙන්ම ළමයින්ද වෙල් යායේ තැන් තැන්වල රැඳෙමින් විලාප නඟමින් හඬන්නට වූහ. කලූ වෙල් යායේ කමතක් ළඟ වැඩී තිබූ මහා දඹ ගස යට වාඩිගත්තාය. සැබවින්ම වාඩිගත්තා නොව, ඇය නිකම්ම ඇදවැටී ඉඳගත්තාය. ‘අනේ අපේ තාත්තා වතුර හරවන්න කුඹුරට ගියේ, මේ මොන අපරාධයක් ද ‘ පහළ ගෙදර ඩිංගිරි මැණිකා හඬා වැළපෙමින් ඇසුවාය. ‘අනේ දෙයියනේ කඩේට කිරි අරගෙන ගිය මගේ කොල්ලා’ යැයි කියමින් ජෙමිස්ගේ පවුල අගොස්තිනා විලාප නැඟුවාය. කිසිවක් තේරුම්ගත නොහැකි වූ කලූ දඹ ගස මුලින් නැඟිට පුංචි රාළගේ පුතා වන චූටි මහත්තයාගේ අතේ වාරුවෙන් සෙනග කෑ ගසමින් හඬන තැනකට සේන්දු වූවාය. චූටි එතැන දණ බිම ඔබාගෙන හඬමින් කඳුළු සලමින් සිටියාය. චූටි දුටු සැණින් කලූ කෑගසා මෙසේ ඇසීය. ‘ මොකද පුතේ මේ වෙලා තියෙන්නේ? මේ අර නෙල්ලි ගෙදර විමලේ කොල්ලා නේද? ‘ නෙල්ලි ගෙදර විමලේ සිලි බෑගයක දැමූ පාන් රාත්තලක් ද අත ඇතිව ලේ විලක් මැද වැටී සිටියි. දැනටමත් ඔහු මේ ලෝකය හැර ගොස් ඇති බව බැලූ බැල්මට පෙනෙයි. ‘කලූ අනේ මගේ අහිංසකයා, කන් ඇහෙන්නැති මගේ අහිංසකයාට ඇයි මේ විපත කළේ? නෙල්ලිගෙදර යසෝ අහස උඩට දෑත දිගු කර හඬා වැළපෙමින් ඇසුවාය. කලූට දැන් සියල්ල තේරෙන්නට පටන් ගෙන ඇත. උදෑසන මුළු ගම ම වැටලූ හමුදාව ඉවක් බවක් නැතිව ම අඩ අඳුරේම වෙඩි තබා මරා දමා ඇත්තේ කුහුඹුවෙකුටවත් වරදක් නොකළ අහිංසකයන්ය. ගමේ මිනිසුන්ගේ උදෑසන දින චර්යාව නොදන්නා හමුදාවේ සොල්දාදුවෝ උදෑසන සිය සුපුරුදු වැඩ කටයුතුවලට ගෙයින් එළියට ගිය අහිංසකයන්ට කාගේ හෝ වුවමනාවට ඉවක් බවක් නැතිව වෙඩි තබා ඇත.
‘චූටි කියාපන් දුවේ, කියාපන්, මගේ බිහිරි කොලුවා කරපු වැරැද්ද මොකක්ද කියාපන්’. නෙල්ලි ගෙදර යසෝ බිහිරි විමල්ගේ පණ ගිය සිරුර බදාගෙන හඬා වැළපෙමින් ඇසුවාය. ගමේ අහිංසක මිනිසුන්ගේ විලාප හඬ මිස ඒ දුක අසන්නට කිසිවෙක් ඒ අහල ගමකවත් නොසිටියහ. කවුරුන් මොනවා කරනවාදැයි සිතා ගන්නට බැරි කලෙක තවකෙකුගේ දුක අහන්නට එළි බහින්නට පවා ගමේ අහිංසකයෝ බිය වූහ. වෙල් යාය පුරාම නිසල වූ මිනී හතරකි. පවුල්වල අහිංසකයන් පමණක් එක්ව අහසට දුක කියමින් කෑ මොර දුන්හ. බිහිරි විමලේගේ නිසල සිරුර අසල වාඩි වී සිටි චූටි වහා නැඟිට්ටාය. ‘ඔව්, අපි මේකේ පළිය ගන්නවාමයි. ඇයි උන් මේ අහිංසක මිනිස්සු මැරුවේ. දර කෑල්ලක්වත් අතේ නැතිව වෙලේ ගිය මිනිස්සු මැරුව මුන්ගෙන් අපි පළි ගන්නවාමයි. එසේ කියූ චූටි කලූගේ හිස වැරෙන් සිඹ වේගයෙන් වැව් තාවුල්ල දෙසට දිව ගොස් නොපෙනී ගියාය. ඇය විදුලි වේගයෙන් දිව ගියාය. ඇය නොපෙනී යනවා දකින්නට කලූට බැරි විය. දෑතින්ම පපුව අල්ලා ගත් කලූගේ මුවින් පිටවූයේ’ වෙඩි හඬට මම දැන ගත්තා මගේ පුතේ’ යන අවසන් වචන කිහිපය පමණක්ම විය. කලූ බිහිරි විමල්ගේ නිසල සිරුර මත කෙසෙල් කඳක් සේ අද වැටුණාය. කළුවිල වැව ළඟින් වැටී ඇති කුඹුරු යායෙන් එහා ඇති ගන කැලෑ රොද අතරින් චූටි නොපෙනී ගියාය. ඇය ගියේ කොහේදැයි අසන්නට කිසිවෙකුත් දැන සිටියේ නැත.
(1987-1990 කාල වකවානුවේදී සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
හේමා සිරිවර්ධන