කමනි සිල්ලර බඩු කඩයක් කරපු කෙල්ලොම තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. කමනිගේ සැමියා වුණ සමන් නැති වුණේ පොඩිම කෙල්ලට අවුරුදු හතක් විතර වෙනකොටයි. ලොකු කෙල්ල නම් එතකොට යමක් තේරෙන වයසක හිටියේ. මද්දුමයා ලොකු කෙල්ලට වඩා අවුරුදු තුනක් බාලයි.
සමන්ගේ මරණයෙන් පස්සෙ තමයි කමනි ඔය සමන් කරගෙන හිටිය සිල්ලර බඩු කඩේ කරන්න පටන් ගත්තේ. කමනි හරි උත්සාහවන්ත ගැහැනියක් කියලා ගමේ හැමෝම කමනි ගැන ඒ කාලේ ඉඳලම වර්ණනා කරේ කෙල්ලොම තුන් දෙනෙක් උස් මහත් කරගෙන උන්ව ආරක්ෂාත් කරගෙන ඉන්න නිසයි.
පිරිමියෙක් නැති ගෙදරක ගෘහ මූලිකයා වුණු කමනි කඩේකුත් කරගෙන ඉන්නකොට ඔය කඩේ අවට පිරිමි, සමන් ඉන්න කාලෙට වඩා ගැවසෙන්න ගත්තා. එහෙම පිරිමින්ට ගැවසෙන්න තරම් ආකර්ෂණීය පෙනුමක් කමනිට තිබුණා.
ළමයි තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙ වයසක කියලා කියන්න බැරි තරුණ පෙනුමකින් සහ ආඩම්බරකමකිනුයි කමනි හිටියේ.
“ඒ පෙනුම කමනිට ආභරණයක් වුණත් කමනි දැනගෙන හිටියා ආභරණවලට මිනිස්සු කෑදර බව, ඒ නිසා කමනි ඒ පෙනුම ආඩම්බරකමින් ආරක්ෂා කරගත්තා”
*********************
කමනි කොච්චර ආරක්ෂා වුණත් කමනිගේ ලස්සන වටා මිනිස්සු කැරකෙන එක කමනිට ලොකු අපහසුවක් වුණා. ඒ නිසා ළමයි ඉස්කෝලේ ඇරිලා ආවහම කමනි ළමයි තුන්දෙනාගෙන් කාව හරි එක්කෙනෙක්ව කඩේ තියාගත්තා තනියටයි ආරක්ෂාවටයි. ඒකෙන් අර කඩේ වටේ කැරකුණු පිරිමින්ගෙන් තිබුණු අපහසුව ටිකෙන් ටික පහව ගියා.
කෙල්ලො තුන්දෙනා වුණත් හැමතිස්සෙම අම්මව ආරක්ෂා කරා. කමනි ළමයින්ට කියලා තිබුණා කිසිම වෙලාවක ගෙදරවත් කඩේදිවත් කාවවත් තනි කරන්න එපා කියලා. ඒ නිසා කඩේත් ගෙදරත් ගොඩක් වෙලාවට දෙන්නා දෙන්නා හිටියා. කවුරු හරි තනියම පන්ති හරි කොහේ හරි යනවනම් අනිත් දෙන්නත් කඩේට ගිහින් අම්මා එක්ක ඉන්න විදියට පවුල ආරක්ෂා කරගන්න පුරුදු වෙලා හිටියා. මොකද කමනි දැනගෙන හිටියා කමනිලා ජීවත් වෙන සමාජය අනාරක්ෂිත බව ඒ අනාරක්ෂිත බවෙන් ආරක්ෂා වෙන්න කමනි ගොඩක් උත්සාහ කරා.
කමනිට අනාගතය ගැන තිබුණු ලොකුම හීනය වුණේ ළමයින්ට පුළුවන් උපරිමයටත් වඩා උගන්නන එක. කමනිට ඕන වුණේ ළමයි මල් වගේ හදන්නෙ නැතුව තමන්ට තමන්වත් ආරක්ෂා කරගන්න පුළුවන්, තනියම වුණත් ජීවත් වෙන්න පුළුවන් විදියට ළමයින්ව හදන්න. ළමයි වුණත් ළමා කාලේ අම්මා පෙන්නපු පාරේ ගියා.
කාලය අවුරුදු ගණන් ගෙවිලා ගිහින් කමනිගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට කමනිගේ ලොකු කෙල්ල කැම්පස් යන්න තේරුණා. ඒක කමනිට ලොකු ජයග්‍රහණයක් වුණා.
*************************
ළමයි එන්න එන්න වයසින් වැඩි වෙද්දි ඉස්සර වගේ කඩේ අම්මගෙ ආරක්ෂාවට ඉන්න එහෙම ආවේ නැහැ. ඒත් ගෙදර කාවවත් තනියම තිබ්බේ නැහැ. ලොකු කෙල්ලත් කැම්පස් නිවාඩු දවස් වලට ගෙදර ඇවිත් යනවා එනවා. ඒ කාලෙදිම කැම්පස් එකේදි කොල්ලෙක් එක්ක යාළු වුණු බවත් අම්මට කියලා තිබුණා.
කමනිට විශ්වාසයක් තිබුණා කෙල්ල වැරදි තීරණයක් ගන්නෙ නැහැ කියලා. ඒ නිසා ඒ ගැන කමනි වැඩිය ප්‍රශ්න කරේ නැහැ. ඊටත් තරුණ වයස් තේරුම් ගන්න පුළුවන් තරමක හොඳ අවබෝධයක් කමනිට තිබුණා.
ඒ අවබෝධය පවුලේ හැමෝටම තිබුණා පුංචිම කෙල්ලට ඇරෙන්න. පුංචි කෙල්ල ටිකක් අනිත් දෙන්නට වඩා වෙනස්, ඉවසීම අඩු ඉක්මනින් කේන්ති යන ආත්මාර්ථකාමි කෙනෙක්. ඒ නිසාමද කොහෙද ගෙදර ආදරෙත් පුංචි කෙල්ල වටා එකතු වුණා.
කාලය ඔහොම ගෙවීගෙන යද්දි කමනිගේ ජීවිතයට නැවතත් ප්‍රේමයේ වසන්තය අරගෙන මනුස්සයෙක් එනවා. ඔහුගෙ නම වසන්ත.
වසන්ත කියන්නෙ කමනිගේ කඩේට අඩු බඩු මොනවද කියලා බලාගෙන යන්න ආපු මනුස්සයෙක්. මීට පෙර ඒ රස්සාව කරපු මනුස්සයා වෙනුවට තමයි වසන්තව මේ ගම් අවට කඩ බලන්න ඒ ආයතනයෙන් දාලා තියෙන්නෙ.
වසන්තට තිබුණේ ඉතා කඩවසම් පෙනුමක්. ඒ පෙනුම ඉදිරියේ කමනි කමනි වටා දාගෙන හිටිය ආඩම්බරකාර ආරක්ෂිත වළල්ල කැඩිලා බිඳිලා ගියා. කමනිගේ හිත ඇතුළේ වසන්ත ගැන මල් පිපෙනකොට කමනිට වයස පනස් දෙකක්.
හැම සතියෙම සඳුදා වසන්ත එනකම් බලාගෙන ඉන්න තරමට කමනිගේ හිත ඇතුළේ පිපුණ මල් බලාගෙන හිටියා. ඔය දැන හැඳුනුම්කම හිතවත්කමක් වෙන්න මහ ලොකු කාලයක් ගත වුණේ නැහැ, වසන්තගෙ හිතෙත් කමනි ගැන ඒ වෙනකොට පැහැදීමක් ඇති වෙලා තිබුණු නිසා.
හිතේ තියෙන දේවල් එකිනෙකාට කියන්න කලින් කමනි වසන්ත ගැන හොයලා බැලුවා. අවුරුදු පනස් හයක් වෙන වසන්ත ඒ වෙනකොටත් කසාඳ බැඳලා නැති බව කමනි දැනගත්තා. පවුලේ අම්මා විතරක් හිටිය වසන්ත තමයි පවුලේ එකම දරුවා.
වසන්තගෙ පැමිණීමත් එක්ක කමනි ඉන්නේ අවුරුදු පනස් දෙකක ගැහැනියෙක් විදියට නෙවෙයි පෙම්වතියක් විදියට. ඒ වෙනස මූණ පුරා පැතිරිලා තිබුණා.
ලොකු කෙල්ල කැම්පස් නිවාඩුවට ගෙදර ආපු වෙලාවක ඔය වෙනස ගැන ඇහුවහම “ඔයත් එක්ක කාරණාවක් තියෙනවා කතා කරන්න” කියලා කමනි කිවුවා.
*******************
මේ දේවල් මෙහෙම වෙනකොට කමනිගෙ ලොකු දුවට තමන්ගෙ අම්මා ගැන දැනුනෙ වෙනම විදියට. නංගිලා නිදා ගත්තහම අම්මා මට කාමරේට එන්න කියලා ඇඳේ අම්මා ළඟින් වාඩිගන්න කිවුවේ මගේ අතින් අල්ලගෙන. අම්මා මගේ අතින් අල්ලගෙන බිම බලාගෙන වසන්ත කියන කෙනා ගැන කිවුවේ ඇස්වල වරදකාරි බවක් පුරෝගෙන කියලා බිම බලාගෙන හිටිය ඇස්වලින් මට පෙනුනා.
අම්මා වසන්ත ගැන අම්මගෙ හිතේ තියෙන දේ ගැන කියලා ඉවර කරන්නත් කලින් මට කියවුණේ “ශෝක්නේ අම්මේ” කියලා. ඒක හරියට මගේ යාළුවෙක්ට ආදරේ හම්බවුණා වගේ දෙයක් මට දැනුනේ. අම්මා වසන්ත ගැන කියලා ඉවර වෙද්දි කඳුලු බිම වැටිලා තිබුණා. අම්මා කිවුවා “මං දන්නවා ලොකූ ඔයා මාව තේරුම් ගන්නවා කියලා. ඒත් නංගිලා දෙන්නා මං ගැන මොනවා හිතයි ද?” කියලා.
“එයාලට තේරුම් කරලා දෙමු අම්මේ” කියලා මං අම්මට කිවුවේ බිම බලාගෙන හිටිය අම්මගේ ඔළුව උස්සලා ඇස්වල තිබුණු කඳුළු පිහදාන ගමන් අම්මව බදාගෙන.
මං අම්මගෙන් ඇහුවා ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නේ කියලා. එතකොට අම්මා කිවුවා විශේෂ දෙයක් නැහැ “ආදරේ කරනවා ඇරෙන්න” කියලා.
අම්මගෙයි මගෙයි කතාව එදා රෑ අවසන් වුණාට පස්සෙත් මං නින්ද යනකම් කල්පනා කරහම මට තේරුම් ගියෙත් මෙච්චරයි. “මේ වයසක ඉන්න මිනිස්සු දෙන්නෙක්ට එකිනෙකාට ආදරේ කරනවා ඇරෙන්න තව ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද” කියලා විතරයි.
*************************
එදායින් පස්සෙ මට අම්මව පෙම්වතියක් විදියට ලස්සනට පෙනෙන්න ගත්තා. “තනි වෙච්චි මනුස්සයෙක්ට ප්‍රේමයක් මුණගැසීම කොච්චර වාසනාවක් ද” කියලා හිතුණා.
අම්මගේ ඔය සම්බන්ධය ගැන අපි තුන්දෙනා අතර විතරක් අවුරුදු දෙකක් විතර රහසක් විදියට තිබුණා. අවුරුදු දෙකකට විතර පස්සෙ තමයි අපි නංගිලා දෙන්නට කිවුවේ. ලොකු නංගි තේරුම් ගත්තත් පොඩි නංගිට තේරුම් කරවන්න ගොඩක් දේවල් කියන්න වුණා. එයාට ඒ ගැන ප්‍රශ්න තිබුණා. එයා අපේ ගෙදර නවතින්න එනවද?, මම එයාට තාත්තා කියලා කතා කරන්න ඕනද? ඔය වගේ ප්‍රශ්න.
මං පොඩි නංගිට තේරුම් කරලා දුන්නා “ඒ කිසිම දෙයක් වෙන්නෙ නැහැ. මේ අපි ඉන්න විදියටම ඉන්නවා කිසිම වෙනසක් අපි අතර වෙන්නෙ නැහැ. අම්මා තව කෙනෙක්ට ආදරේ කරනවා විතරයි” කියලා. එයා පුංචි නිසා එකපාරට තේරුම් ගන්න බැරි වුණත් මං කියපු දේවල්වලින් යම්තාක් දුරට තේරුම් අරගෙන තිබුණා.
**********************
අපි හැමෝම අපේ ජීවිතවල සතුටින් හිටියා. අම්මා වුණත් ඉස්සරට වඩා නැවුම් බවකින් දවස් ගෙව්වා. වසන්ත මාමා කඩේට විතරක් ඇවිත් යනවා. අපිව දැක්කහම අපිත් එක්ක හරි ආදරෙන් කතාබහ කරනවා. ඔය විදියට තවත් අවුරුදු තුනක් විතර ගෙවිලා ගියා.
ඔය ගෙවෙමින් ඉන්න කාලය අතරතුර දවසක් අම්මා මට කතා කරලා කිවුවා “වසන්ත මාමාගේ වාහනේ හැප්පිලා කියලා මට කෝල් එකක් ආවා ලොකූ ඔයාට පුළුවන්ද හොස්පිට්ල් එකට ගිහින් බලන්න” කියලා. මං අම්මට “හා” කියලා හොස්පිට්ල් එකට ගියා බලන්න.
මං යනකොටත් වසන්ත මාමා මේ ලෝකේ අත්හැරලා ගිහින්. අම්මා මට සැරින් සැරේ කෝල් කරා විස්තර අහන්න. මං අම්මගේ කෝල් ආන්සර් නොකර කෙළින්ම ගෙදර ගියේ අම්මට ඒ ගැන ෆෝන් එකෙන් කියන්න බැරි නිසා.
මං අම්මට වසන්ත මාමා ජීවතුන් අතර නැහැ කියලා කිවුවා. අම්මා ඇඬුවේ නැහැ. අම්මා නිහඬ වුණා.
අපි හතර දෙනාම වසන්ත මාමගේ අවසන් කටයුතු දවසේ ගෙදර ගියා. අම්මා වසන්ත මාමා දිහා බලාගෙන හිටියා විතරයි, එක කඳුළක්වත් ඇහෙන් වැටුණේ නැහැ.
**********************
වසන්තය අම්මව හැර ගියාට පස්සෙ අම්මා ගොඩක් අසනීප වුණා. අම්මව අසනීපෙන් දකින හැම වතාවෙම පොඩි නංගි කේන්ති ගන්නවා වසන්ත මාමට “අර වසන්තයා මොකට ආවද” කියලා.
තනි වෙච්චි මනුස්සයෙක්ට ප්‍රේමය මුණගැසීම වාසනාවක් වුණත් ඒ හමුවුණු ප්‍රේමය ආයෙත් අහිමි වෙන්න හොඳ නැහැ. පිස්සු හැදෙනවා.
මම රස්සාව කරන තැනම අම්මා ඉන්න නිසා මට අම්මා ගැන ඇහැ ගහගෙන ඉන්න පුළුවන්. නංගිලා පුළුවන් පුළුවන් වෙලාවට එනවා අංගොඩ හොස්පිට්ල් එකට අම්මව බලලා යන්න.
පුබුදු උදටියාවල