දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් සතොස මඟින් කිලෝව රුපියල් 220ක මිලකට ජනතාවට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
එමෙන්ම වෙළෙඳපොළේ ඇති වී තිබෙන පොල් හිඟයට පිළියමක් ලෙස ඉදිරි සති දෙක තුළදී, නගරාසන්න ප්‍රදේශවල ජනතාවට සතොස මඟින් පොල් ගෙඩියක් රුපියල් 130ක මුදලකට ලබා දීමට කටයුතු කරන බව ද සමරසිංහ මහතා කීවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
සතොස මඟින් සහල් අලෙවි කිරීමට දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් රුපියල් 220ක මිලකට මුදාහැරීමට සහල් මෝල් හිමියන් එකඟ වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
එමෙන්ම දේශීය වෙළෙඳපොළේ දැනට පවතින සහල් අවශ්‍යතාව සහ අධික වර්ෂාවෙන් වී වගාවට සිදුව ඇති හානිය සලකා ලබන දෙසැම්බර් මස 20 වැනිදා මධ්‍යම රාත්‍රිය වන තෙක් සහල් ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. වෙළෙඳපොළ ඇති වූ සහල් හිඟයට පිළියමක් වශයෙන් වෙළෙඳපොළ සහල් සුලබ කර මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට රජය කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
“ඉදිරි සති දෙක, තුන තුළදී වෙළෙඳපොළ පවතින පොල් හිඟයට පිළියමක් වශයෙන් සහ පාරිභෝගික ජනතාව කොල්ලකෑම වැළැක්වීමට මෙම තීරණය ගත්තා. ඒ සඳහා පොල් ගෙඩි ලක්ෂ 10ක් මුදාහරිනවා. රට තුළ භාණ්ඩ හිඟයන් ඇති කිරීමට පසුගිය සමයේදී විවිධ පුද්ගලයන් සහ ආයතන මැදිහත් වුණා. එම පුද්ගලයන් සමඟ මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ ගන්නවා. එසේ නොවුණහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුවක් වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද කීවේය.