වලල්ලාවිට, උතුම්ගම, කිවුල්දෙණිය ගම්මානයේ පවුල් තිස්පහක ජීවිත බිලිගන්නා මාරාන්තික විදුලි උගුලක් වසර හතරක් තිස්සේ මිනිස් ජීවිත බිලිගන්නා තෙක් ලංකා විදුලිබල මණ්ඩලය බලා සිටින බව උතුම්ගම කිවුල්දෙණිය ගම්වැසියෝ පවසති.
2012 වසරේ කිවුල්දෙණිය ගම්මානයට විදුලිය ලබා දීම සඳහා ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ විදුලි රැහැන් කණු යොදා ඇති අතර විදුලි ව්‍යාපෘතිය ආරම්භ කර වසර තුන හතරක් ගතවන්නටත් පෙර විදුලි රැහැන් කණු දිරා කඩා වැටී විදුලි රැහැන් ද බිමට පතිතවී තිබේ.
මේ පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලයේ මතුගම උප පොළටත් විදුලි මනු කියවන්නන්ටත් ලිඛිතවත්, වාචිකවත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඔවුන්ට වගේ වගක් නැතැයි කිවුල්දෙණියේ අසෝක මාරිංග මහතා සඳහන් කළේය.
කිවුල්දෙණියේ ප්‍රියංකා කුමාරි මහත්මිය මෙසේ කීවාය. “ලයිට් කණු විසි ගණණින් හතර පහකට වඩා නැහැ. අනෙත් සේරම කැඩිලා, ඇළවෙලා, පෙරළිලා ගිහිල්ලා. ලයිට් වයර් ගස්වල ගැටගහල තියෙන්නෙ. ගල් උඩ දාලා සමහර තැන්වල පොළොවට වැටිලා. කැලෑව ඊට උඩින් ගිහිල්ලා. ඉඩම් සුද්ද කරද්දි කැති, උදලුවලට වයර් කැපිලා. වැස්ස වෙලාවට සමහර පැතිවල පොළවෙ විදුලිය තියෙනවා. මේක මිනී මරන මර උගුලක් බවට පත්වෙලා.”
කිවුල්දෙණියේ අසෝක මාරිංග මහතා: “මේ ලයිට් කණු කඩා වැටිල දැනට අවුරුදු හතරකට වැඩියි. මේ ගැන අවස්ථා ගණනකදී විදුලිබල මණ්ඩලේට කිවුවා. එයාල අද එනවා හෙට එනවා කියල මඟහරිනවා. බිල ලියන නිලධාරියාට කිවුවා වැඩක් වුණේ නැහැ. දැනට මාස ගණනකට කලින් ඇවිත් කණු හිටවන්න වළවල් හාරලා කණු කිහිපයක් ගෙනල්ලා දාල ගියා. නමුත් තවම විදුලි වයර් බිම”.
අධිබලැති විදුලි රැහැන් මෙසේ අනාරක්ෂිතව බිම දමා මිනිස් ජීවිත බිළි ගන්නා තෙක් නිදා සිටින විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කිවුල්දෙණිය ගම්මානයේ මිනිසුන්ගේ ජීවිතවල වගකීම බාරගතයුතු යැයි කිවුල්දෙණියේ විදුලිය පාරිභෝගිකයෝ කියති.
මීගහතැන්න සමූහ