Sunday, April 20, 2025
Home » සංවර්ධන නිලධාරී ගැටලුව විසඳන්න කමිටුවක් පත් කරයි

සංවර්ධන නිලධාරී ගැටලුව විසඳන්න කමිටුවක් පත් කරයි

by sachintha
December 4, 2024 12:50 am 0 comment

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ගැටලුවලට තිරසර විසඳුම් ලබාදීම සඳහා අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ සභාපතිත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත ඇමැති කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම ඇමැති කමිටුවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති, මහාචාර්ය, ඒ.එච්.එන්.එච්. අබේරත්න, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය මධුර සෙනවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහත්වරුන් පත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවට සහාය වීමට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඒ මහතා කීවේය.

එම නිලධාරී කමිටුවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ, මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරුන් හා ජාතික අය-වැය, ආයතන, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත් කළ බව ඇමැතිවරයා පැවසීය.

1994 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අවස්ථා 07කදී විවිධ යෝජනා ක්‍රම මඟින් රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් ඇතුළුව මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ උපාධිධාරීන් 150,000කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටින බව ඇමැතිවරයා පැවැසීය.

සංවර්ධන නිලධාරීන්ගේ හා ආශ්‍රිත සේවා ගණයන්හි සේවය කරන නිලධාරීන්ගේ නිපුණතා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගැයීමක් සිදු නොකර රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කර තිබෙන බව ඒ මහතා කියා සිටියේය.

ඔවුන්ට සේවාරම්භක හා සේවාස්ථ පුහුණු නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් හා විධිමත් පරිදි තනතුරට අදාළ කාර්යයන් සහ වගකීම් පැවරීම සිදු නොකිරීම හේතුවෙන් එම නිලධාරීන් වෙතින් අපේක්ෂිත කාර්යසාධනය ළඟා කර ගැනීමට නොහැකි වී ඇති අතර එසේම, සංවර්ධන නිලධාරීන් 15,800කට අධික සංඛ්‍යාවක් ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල ඉගැන්වීම්වල නිරතව සිටින හෙයින් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් පැනනැඟී තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT