උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති වූ සමථය අනුව මෙතෙක් කටයුතු කර ඇති ආකාරය පිළිබඳ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
අදාළ සමථය අනුව බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බවට පැමිණිලි කරමින් ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දැනුම් දීම කරන ලදි.
ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන මහත්ම මහත්මීන්ගේන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු මඬුල්ලක් හමුවේ මෙම මෝසම සහ අදාළ පෙත්සම කැඳවන ලදි.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කියා සිටියේ අධිකරණය හමුවේ ඇති වූ සමථය අනුව ගුරු පත්වීම් ලබාදීම මෙතෙක් සිදු වී නොමැති බවය.
එම කරුණු සම්පූර්ණ අවධානය යොමු කළ විනිසුරු මඬුල්ල අදාළ සමථය අනුව කටයුතු කර තිබේද යන්න පිළිබඳ ප්‍රගති වාර්තාවක් ලබන වසරේ පෙබරවාරි 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
චතුර දේවපුර මහතා ඇතුළු සංවර්ධන නිලධාරීන් 8 දෙනකු විසින් ගොනුකළ මේ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකිරීම සම්බන්ධයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි. එම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී ගුරු පුහුණුව ලැබූ සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් සමථයක් පාර්ශ්වයන් විසින් ඇති කර ගන්නා ලදි.
එහෙත් එම සමථය අනුව කටයුතු කර නොමැති බව මෙම මෝසම මඟින් පැමිණිලි කර තිබුණි. නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
නෙල්කා මැදගෙදර