Home » ඊශ්‍රායල-හෙස්බුල්ලා සටන් විරාමය බිඳ වැටෙයි

ඊශ්‍රායල-හෙස්බුල්ලා සටන් විරාමය බිඳ වැටෙයි

-ඊශ්‍රායල හමුදාව ගිවිසුම කඩ කළ බවට ලෙබනනයෙන් චෝදනා

by sachintha
December 4, 2024 1:08 am 0 comment

අමෙරිකාවේ සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් ආරම්භ වූ ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය අතර දින 60ක සටන් විරාමය දින 3කින් බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ලෙබනනයේ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ පිහිටි ගම්මාන දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වූ බවත්, අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සිය හමුදාව එම ගුවන් ප්‍රහාරය සිදු කරනු ලැබුවේ හෙස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදා මුරපොළකට ප්‍රහාර එල්ලවීමෙන් පසුව බව ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නොවැම්බර් මස 27 වැනිදා සටන් විරාම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඊශ්‍රායලය 50කට වැඩි අවස්ථා ගණනකදී ගිවිසුම උල්ලංඝනය කළ බවට පෙරේදා ලෙබනන් පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ප්‍රකාශයක් නිකුත් කළ බවත්, මේ වනවිට නැවත දෙපාර්ශ්වය අතර සටන් ඇවිලෙමින් පවතින බවත් වාර්තා වේ.

සටන් විරාමය ප්‍රකාශයට පත් කළ දිනට පසුදින බ්‍රහස්පතින්දා දකුණු ලෙබනනයේ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ පිහිටි හෙස්බුල්ලා සංවිධානයට අයත් රොකට් මෙහෙයුම් මධ්‍යස්ථානයකට එහි සාමාජිකයන් දෙදෙනකු පැමිණීමත් සමඟ ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, එදින අවස්ථා කිහිපයකදීම ඊශ්‍රායල හමුදාව සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට ලෙබනන් හමුදාව චෝදනා කළ බව වාර්තා වේ. කෙසේ වෙතත් ඊළඟ පැය 48ක කාලය ඇතුළත සටන් විරාම කොන්දේසි උල්ලංඝනය නොකිරීමට දෙපාර්ශ්වයම කටයුතු කළ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT