පානදුර වේරවත්ත ශ්‍රී විජයාරාමාධිපති මොරවින්නේ විජිත හිමියෝ පනස් වන වියට පා තබති. ඒ නිමිතිකොටගෙන හෙට (05) ශතාධික මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1974 දෙසැම්බර් මස 04 වැනි දින පානදුර, මොරවින්න ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබූ මේ පින්වත් කුමරා සද්ගුණවත් හේමසිරි ප්‍රනාන්දු සහ රන්ජනී සල්ගාදු යන දම්පතීන්ගේ දෙටු පුතණුවන් විය. මූලික අධ්‍යාපනය පානදුර වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලය පාසලෙන් ලබා ගත් අතර, 1994දී පුරාකෘත පුණ්‍ය මහිමයෙන් මොරවින්නේ විජිත නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් විය. පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන්හි පිරිවෙන් අධ්‍යාපනය ලබා 2004දී පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන් විහාරාධිපති පානදුරේ විජිතනන්ද හිමියන්ගේ සහ ඉඳිබැද්දේ මංගල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයකු හැටියට මහණ උපසපන් භික්ෂුවක් බවට පත් වූ විජිත හිමියන් උපතින් උරුම වූ ස්වශක්තියෙන් මහජන සුවසෙත පිණිස තම මෙහෙවර ආරම්භ කිරීම ආරම්භ කළහ.
පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි හා තත් විහාරාධිපති පානදුරේ විජිතනන්ද නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන විජිත හිමි තම ගුරු හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි 1996දී වෙහෙරවත්ත ශ්‍රී විජයාරාමයට වැඩම කළහ. එවකට එහි වැඩ සිටි කොටවායේ මුදිත හිමියන් සමඟ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ විජිත හිමි විජයාරාමය පුළුල් සංවර්ධනයකට යොමු කළහ.
අක්කරයකට අඩු කුඩා භූමියක පිහිටා තිබූ විජයාරාමය වර්තමානය වන විට අක්කර 10ක පමණ රමණීය පරිසරයකින් සමන්විත සියලු විහාරාංගයන්ගෙන් සංවර්ධිත පුණ්‍ය භූමියකි. ඒ සඳහා විජිත හිමියන් තම කාලය, ශ්‍රමය හා ධනය කැප කරමින් සිදු කර ඇති මෙහෙවර ප්‍රශංසනීයයි.
විජයාරාමයට පැමිණෙන බොදු දනන්ගේ නෙත් සිත් සනසන ධර්ම මන්දිරය, අටවිසි බෝධි මන්දිරය, හිටි පිළිම වහන්සේ, සප්ත මහා දේවාලය, චෛත්‍යය, ධාතු මන්දිරය, සංඝාවාසය ආදී විහාරාංග විජිත හිමියන්ගේ මෙහෙවරෙහි ජීවමාන සංකේතය.
විජිත හිමියන් අදෘශ්‍යමාන දේවාශීර්වාදයෙන් බොහෝ අසරණ වූවන්ට ඔවුන්ගේ ලෙඩ දුක් කරදරවලදී පිහිට වන හිමිනමකි. එසේම අසරණ පවුල් සඳහා නිවාස තනා දීම, දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ආදී සමාජ සුබසාධක කටයුතු සඳහා ද බෙහෙවින් උපකාර කරන මානව සංවේදී යතිවරයෙකි. පානදුරේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ සහ බොදු දනන්ගේ ගෞරවයට පාත්‍ර වී සිටින විජිත හිමියන් ශාසනයට සම්පතකි.