පාසල් සංවර්ධන නිලධාරීහු යනු ඩෙස්, බංකු නොවේ. එම පත්වීම් සඳහා සාධාරණයක් ඉටුවිය යුතුය යන මතයේ සියල්ලෝ සිටින්නාහ. උපාධිධාරීන් සඳහා පත්වීම් පිරිනැමීමේ පැකේජය වූ කලී අන් යමක් නොවේ. රාජ්‍ය සේවය සඳහා ඉඳුරාම බඳවා ගැනීම වන්නේය. මේ රටේ උපාධිධාරීහු ලෝගුව පැලඳ ගත් සැණින් සිතනුයේ, තමා ඉහළ අත්තේ රැඳවීම සමාජ වගකීමක් බවය. පාසලේ පළමු වසරට ඇතුළු වෙන දරුවන්ගෙන් 13%ක් පමණ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු වන්නේය. විදේශ සරසවි සඳහා යෑම, දේශීය වශයෙන් ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශය, අනිකුත් උසස් අධ්‍යාපන ආයතන හි ඉගෙනුම ලැබීම යන කාරණා අනුව මෙම ප්‍රමාණය 25%ක් පමණ වන්නේය. ඒ සියල්ලෝ රැකියා සඳහා සුදුසු වන්නා සේම ඉතිරි 75% ද මේ රටේ ශ්‍රම බළකාය සඳහා ඇතුළත් විය යුතු හෙයින් ඔවුහු ද රැකියා සඳහා සුදුසුකම් ලබන්නාහ.
රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් පිටවෙන උපාධිධාරියා, විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් එළියට විත් බලනුයේ තමන් කැඳවාගෙන ගොස් රැකියාවක් ලබාදීම පිණිස රජයේ නිලධාරියෙක් පැමිණ ඇත්තේ ද යන්නය. ඒ තරමට වැඩේ ඉහට ගෙන ඇත්තේය.
සෑම උපාධිධාරියෙක් සඳහාමැ රජයේ රැකියාවක් සහතික කරලීම පහසු කාර්යයකි. මෙය දේශපාලන සටන් පාඨයක් බවට පත් වන්නේ හෙයින්, එම අත්දැකීම අනුව කුමක් හෝ පත්වීම් නාමයක්, හඳුන්වාදීම පවතින ආණ්ඩුවේ පිළිවෙතය. ඒ අනුව අදාළ ලේබලය යටතේ තොගයට සේවය සඳහා බඳවා ගැනීම සිදු වන්නේය. යම් හෙයකින් පත්වීම පමා වන්නේ නම් පාරට බැස, විරෝධතා දක්වනු වස් පිරිසක් සූදානම්ය. ඒ වැඩේ සඳහා වෙනම දේශපාලන ව්‍යාපෘතියක් සෑම පක්ෂයක්ම දියත් කරන්නේය. පත්වීම් ලබාදීම සඳහා බලපාන කාරණා දෙක වන්නේ, විරෝධය හේතුවෙන් තම ආණ්ඩුව ලක්වන ජන අප්‍රසාදය තුරන් කර ගැනීම සහ ඒවා ද ඡන්ද හෙයින්, මේ කැමැත්තට ඉඩ දී, සිය දේශපාලන බල ව්‍යාපෘතිය සඳහා එය හවුල් කර ගැනීමේ ශක්‍යතාව සහතික කර ගැනීමය.
පෙරේදා බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණය වූ කලී මේ ක්‍රියාවේ ඊළඟ පියවර වන්නේය. කොහොමින් හෝ උපාධිධාරියා ආණ්ඩුවේ රස්සාවකට ගොනු කළ කල්හි, වැඩේ අවසන් බව ආණ්ඩුවේ කල්පනාවය. හැකි ඉක්මනින් ඔවුහු සිය යුනියන් එකට බඳවා ගැනීම, අදාළ කන්තෝරුවේ සිටිනා ආණ්ඩුවේ වෘත්තීය සමිතිය සිදු කරන්නේය. අපේ ආණ්ඩුව ලබාදුන් පත්වීම් කියා… මේ අය සඳහා පත්වීම් ලිපිය ලැබුණාට පසු බෙදා දෙන්නේ, යුනියන් එක සඳහා බැඳීමේ පෝරම කොළය ය. ‘ඉන් ඉක්බිතිව සියල්ලෝ සතුටින් වාසය කළහ’ කියා කතාව නිමා වන්නේ නැත.
අවුලෙන් මිදෙනු වස් ලේබලයක් අලවා පත්වීමක් ලබා දුන්නද එය නියමිත රාජ්‍ය සේවා ශ්‍රේණි සඳහා අනුගතව නැත. වැටුප් සහ දීමනා ආදියේ සිටම ප්‍රශ්නකාරීය. මේ චක්‍රය සදාකාලික ලෙස ශ්‍රී ලංකා සමාජය අත්දැක ඇත්තේ හෙයින් ‘උපාධිධාරීන් සඳහා රැකියා’ යන මාතෘකාව දැන් පලේ පල් වී ඇත්තේය. ඊළඟ ජවනිකාව ද එසේය. එය වූ කලී බඳවාගත් උපාධිධාරියාට නිසි තැන අහිමි වීමය.
2019 වර්ෂයේදී සංවර්ධන නිලධාරීන් විසිදාහක පමණ පිරිසකට පළාත් පාසල්හි, පුහුණු වීමේ අවස්ථාව රජය ලබා දුන්නේය. පුහුණුවීමේ අවස්ථාව යනු පසුදාට පත්වීම ලබාදීමක් නොවේ. පත්වීම වූ කලී සංවර්ධන නිලධාරී මිස ‘ගුරු’ නොවේ. පත්වීම් එකහෙළා ‘ගුරු’ කළේ නම් ගුරු වෘත්තිය සමිති ඇවිත් ඉසුරුපාය වටලන්නේය. බඳවා ගන්නා පුද්ගලයා ඉගැන්වීම සඳහා අවශ්‍ය ආකාරයේ පුහුණුවක් ලැබීම යන්න කිසිසේත්ම නොසලකා ද ගුරු පත්වීම් කොළයක් අතට දිය නොහැකිය. මේ ආකාරයේ පත්වීමක් සඳහා ‘ගුරු’ යන ලේබලය ලබාදිය හැක්කේ, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලවය.
පාසල් සඳහා අනුයුක්ත කළ දිනයේ සිට ‘ගුරු’ ලේබලය, සංවර්ධන නිලධාරීන් වෙත අවශ්‍ය වූ හෙයින් ඒ සඳහා ඉල්ලීම් ගලා එන්නට විය. මේ සඳහා පැවති ආණ්ඩුව ගත් තීරණය වූයේ පරීක්ෂණයක් පවත්වා, ගුරු පත්වීම් ලබා දීමය. විභාගය පවත්වන දිනට වයස, අවුරුදු හතළිහ දක්වා දීර්ඝ කර ගැනීම පළමුව කළ යුතු බව සංවර්ධන නිලධාරීන්ගෙන් පැමිණි ඉල්ලීමකි. එසේ වයස් කාලය දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමට පරණ ආණ්ඩුව කටයුතු කළේය. විභාගය සඳහා දින නියම කර තිබියදී, සංවර්ධන නිලධාරීහු කිහිප දෙනෙක් නඩුවක් ෆයිල් කරන ලද්දාහ. විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නඩුවේදී ලැබුණි.
දැන් වැඩේ තවත් ඇදී යන්නේය. නඩුව විභාග වන්නේය. ඊළඟ අභියෝගය සංවර්ධන නිලධාරීන්, ගුරු සේවය සඳහා බඳවා ගැනීම නොව නඩුවට මුහුණදීමය. නඩුව කඩිනමින් නිම කර ගැනීම සඳහා නීතිපතිවරයා මඟින් ආණ්ඩුව අධිකරණයට කරුණු වාර්තා කළේය. නඩුව ඇදී යා නොදී, වැඩේ කර ගැනීම සඳහා හිටපු අධ්‍යාපන ඇමැතිවරයා අධිකරණයට කියා සිටින ලද්දේ, රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවය.
අදාළ නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන සියලුදෙනා ගුරු සේවයට බඳවා ගැනීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලද්දේ වැඩේ ගොඩ දමා ගැනීමේ මාර්ගයක් ලෙසය. ගුරු සේවයට බඳවා ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා
කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව එය සිදු කළ යුතුය.
සංවර්ධන නිලධාරීන්, ගුරු පත්වීම්ලාභීන් වීම සඳහා දරන උත්සාහයේ කතාන්දරය ඇත්තේ එතැනය. ඒ අනුව දැන් රාජ්‍ය සේවා කොමිසම මේ සඳහා වූ නිර්දේශයක් සකස් කළ යුත්තේය.
මේ අතරේ ඉසුරුපාය වටකර, පොලීසියට ද ඉසිපිරිතාලේ ලගින සයිස් එකට නෙළුවා කියා විසඳුම ඉක්මන් වන්නේ නැත. මෙහෙම අයවලුන් වෙත ගුරු පත්වීම් ලබාදුනහොත්, දරුවන් පාසල් යැවීමට සිදුවනු ඇත්තේ ද හෙල්මට් දමා, ආරක්ෂිත කබා අන්දවා බව මවුපියන් සිතිය හැකිය. වැඩේ තේරුම් ගෙන සාකච්ඡා මට්ටමෙන් නොයා මේ ආකාරයට පාරේ රැඟීමට යෑම, ගුරු සේවය සඳහා වූ නුසුදුසුකමක් ලෙස පෙරේදා රටම තේරුම් ගත්හ.