ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් 17 හැවිරිදි ඥාති සහෝදරයෙකු එල්ල කල පිහි පහරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් ඔයාමඩුව පොලිස් වසමෙන් වාර්තාවේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 13 කණුව , බණ්ඩාරගම පේමඩුව පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ ජය සංඛ පද්ම කුමාර නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
සැකකරු සහ මරණකරු ඉකුත් පළමුවැනිදා කුඹුරක වැඩ කරමින් සිටියදී ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් දෙදෙනා පොර බදා ඇති අතර පසුව සැකකරු සඟවා ගෙන සිටි පිහියක් රැගෙන මරණකරුට බරපතල තුවාල සිදු කර තිබූ බව පොලිසිය කියයි.
සැකකරු සහ මරණකරු පොර බදින අවස්ථාවේදී එම ස්ථානයට දිව ගොස් ඇති කුඹුරේ හිමිකරු සැකකරුට ප්ලාස්ටික් බටයකින් පහරක් එල්ල කර ඔහු අත තිබූ පිහිය උදුරා ගෙන මරණකරු ඇලයාපත්තුව රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි එදිරිසිංහ ආරච්චිලාගේ තරුෂ සඳරුවන් නැමති සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.