අනුරාධපුර මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අපරාධ නඩු රැසක විත්තිකරුවකු ලෙස නම් කර සිටි ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ හිටපු කෝප්‍රල්වරයකු ද වන ටී. එම්. සරත් බංඩාර හෙවත් ‘එස්. එෆ්. බංඩා’ ඇතුළු තිදෙනකුට… වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි පොලිස් පරික්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු සහ සිවිල් පුද්ගලයන් දෙදෙනකු නීතිපතිවරයාගේ උපදෙස් මත එකී චෝදනාවෙන් නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බැවින් ඔවුන් මෙම සිද්ධියෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
නීතිපතිවරයාගේ උපදෙසින් මෙලෙස නිදහස් කරනු ලැබුවේ එවකට උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ දැනට අනුරාධපුර උඩමලුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂක ඒ.ජී. චමින්ද කුමාර සිරිසේන, එම්.ජේ. සංජීව දුලිප්, ප්‍රභාත් සංජය විජේසිංහ, පොලිස් සැරයන් ආර්.එච්.එම්. නිශ්ශංක රාජකරුණා සහ පොලිස් කොස්තාපල් කේ.එම්. දමිත් සිරිවර්ධන යන සැකකරුවරුන්ය.
සැකකාර පොලිස් පරීක්ෂක දමින්ද කුමාර සිරිසේන එවකට අනුරාධපුර උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සිටිමින් ද, සැරයන් නිශ්ශංක රාජකරුණා සහ කොස්තාපල් දමිත් සිරිවර්ධන එම කඳවුරේම සේවය කරමින් ද සිටියදී මෙම ත්‍රිත්ව ඝාතන සිදු කළ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් තිදෙනා ඇතුළු සිවිල් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස් පරීක්ෂකවරයා වසරකුත් මාස දෙකක් ද, සෙසු සැකකරුවන්ට වසරක්ද වශයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, ඒ වන විට සේවය අත්හිටුවා සිට පසුව වසර හතරකට පසුව ඔවුන් යළි සේවයේ පිහිටුවීය.
2016 වසරේ පෙබරවාරි මස 1 දින හෝ ඊට ආසන්න දිනයක තිරප්පනේ පොලිස් වසමේ තිරප්පනේ තුරුවිල මාර්ගයේ කැලෑ බද ප්‍රදේශයකදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි ප්‍රබල අපරාධ කල්ලි සාමාජික ටී.එම්. සරත් බංඩාර නොහොත් ‘එස් එෆ් බංඩා’ ඇතුළු තිදෙනකුට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා එම වෑන් රථය තුළදීම ඝාතනය කළ බවට මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබිණ.
අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද