හැටන් අධ්‍යාපන කලාපයට අයත් හිටිගේගම මාදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති පාලිත වීරවංශ මහතා සිය නිවසේ සිටියදී හෘදයාබාධයක් වැලඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙණියහේන ගම්මානයේ තම නිවෙසේ සිටියදී ඒ මහතා හදිසියේ රෝගීවී ඇති අතර ඔහුගේ පවුලේ උදවිය ඔහුව ගිනිගත්හේන ප්‍රාදේශීය
රෝහල කරා ගෙන ගොස් තිබෙන අතර විදුහල්පතිවරයා ඒ වනවිටත් මියගොස් ඇත.
කොත්තැල්ලන විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යපනය ලබා පසුව හගරාපිටිය ශ්‍රී නිශ්ශංකමල්ල මහා විද්‍යාලයෙන් අපොස උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ පාලිත වීරවංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධියක් ලබා හගරාපිටිය ශ්‍රී නිශ්ශංකමල්ල මහා විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සේවය කළේය. අනතුරුව පසුගිය වසර 13ක පමණ කාලයක් තිස්සේ හිටිගේගම මාදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයෙකු වශයෙන් එම විද්‍යාලයේ දියුණුව
වෙනුවෙන් කැපවීමෙන් යුතුව සේවය කර ඇත.
මිය යන විට 51 වැනි වියෙහි පසුවූ මාදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති පාලිත වීරවංශ මහතා 13 වියැති දියණියකගේ පියෙකි.
ඒ මහතාගේ දේහය දෙණියහේන සිය නිවෙසේ තැන්පත් කර තිබෙන අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) එම පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ගිනිගත්හේන විශේෂ ජී.ඒ. ගුණසේන