Monday, April 21, 2025
Home » රට පිටිවලට රිදීමාලියද්දෙන් විකල්පයක්

රට පිටිවලට රිදීමාලියද්දෙන් විකල්පයක්

by sachintha
December 3, 2024 1:06 am 0 comment

දශක ගණනාවක් තිරිඟු පිටි ප්‍රධාන ආහාරයක් කොටගත් ජීවිතයක් ගත කරන ලාංකිකයන්ගේ හිස මතට අලුත් නිෂ්පාදනයක පොලාපැනීම කෙසේ පිළිගනී ද? මේ මඤ්ඤොක්කා පිටි ගැන අලුත් කතාව අපට හමුවන්නේ ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ එකක් වන මහියංගණයේ රිදීමාලියද්දෙනි. තමාගේ දෛනික ආහාර වේලට තම්බා ගත් හෝ වෑංජන ලෙස සකසා ගත් මඤ්ඤොක්කා අල වෙනුවට මඤ්ඤොක්කා පිටිවලින් සකසා ගත් සැහැල්ලු, රසවත්, විවිධාංගීකරණය වූ වටිනා පෝෂ්‍යදායී ආහාරයක් ගැන හිතන්නට පෙලඹ වූ කාරණය මහියංගනණය රිදීමාලියද්දේ මඤ්ඤොක්කා පිටි කර්මාන්ත ශාලාවයි.

මෙම මඤ්ඤොක්කා පිටි සහ තවත් නිෂ්පාදන ගණනාවක් නිපදවන මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ සිවිල් ඉංජිනේරුවරයකු වන උපාලි බාලසූරිය මහතායි. මේ ඔහුගේ අපූරු නිෂ්පාදනය සහ එහි ඉතිහාස කතාවයි.

“මේක ඇත්තටම කතාවක්. මම වැඩ කළේ මාගා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකාරවරයෙක් හැටියට. පසුගිය කොවිඩ් වසංගතය ආරම්භ වුණාට පස්සේ. ඒ කාලේ ආණ්ඩුවට රටේ ආර්ථිකය කළමනාකරණය කර ගන්න බැරිව ගොඩාක් ව්‍යාපාර, ව්‍යාපෘති බිඳ වැටුණා. මමත් මාගා ආයතනයෙන් වන්දියක් එක්ක අයින් වුණා. මම හැමදාම අලුත් විදිහට හිතනවා. මගේ තරුණ කාලයේ ඒ කියන්නේ 1980 දශකයේ. මමත් ක්‍රියාකාරිව සම්බන්ධ වුණු වාමාංශික දේශපාලනයෙන් මට අලුත් විදිහට හිතන්න හොඳ පන්නරයක් ලැබුණා. අලුත් අදහස් ලැබුණා. ඒ කාලේ ඉඳලම මම උත්සාහ කළා රටට අලුත් දෙයක් දෙන්න. ඉතිං මම නොයෙක් පර්යේෂණ, නිබන්ධන කියවන අතරේ මේ මඤ්ඤොක්කාවලින් අලුත් නිෂ්පාදනයක් කරන්න අදහසක් හිතට ආවා. ගෙවත්තේ මඤ්ඤොක්කා හාරමින් ඉන්නකොට කැපුණු අලයක පිටි උදැල්ලේ ගෑවිලා තියෙනවා දැකල ආපු ඉඟියක්. ඒක තවත් දෙයක්, මං අහල තිබුණා. 1970 දශකයේ සිරිමාගේ ආණ්ඩුව කාලේ, ආහාර අහේනිය කාලේ ගෙවල්වල මේ පිටි හදලා රොටී කාපු කතාවක්. මේවත් එක්කම අන්තර්ජාලය හරහා මම දැනගත්තා ලෝකයේ මඤ්ඤොක්කා පිටිවලට තියෙන ඉල්ලුම. ඒ වගේම නිෂ්පාදනය. ආසියාවේ තායිලන්තය, ඉන්දියාව, කොරියාව, ලතින් අමෙරිකාව, අප්‍රිකාව වගේ රටවල දෛනික ආහාරවලින් 1/3ක් විතර සපයන්නේ මඤ්ඤොක්කා පිටි වලින්. අන්තර්ජාලයේ හොයල බලන්න ටැපියෝකා (tapioca) කැසවා (cassava) කියලා. කොච්චර නිෂ්පාදන තියෙනව ද කියලා.

මම මේක ඉස්සරලාම බිබිල ප්‍රදේශයේ අත්හදා බැලුවා. ඒ කාලේ එහේ හිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය මේකට උදවු කළා. ඒත් එහේ හිටිය දේශපාලන අධිකාරිය ඒකට එරෙහි වුණා. කිසිම අනුග්‍රහයක් දුන්නේ නෑ. ඊට පස්සේ මම රිදීමාලියද්දේ ඉඩමක් අරගෙන වැඩේ පටන් ගත්තා. දැන් මේ ගොඩනැඟිල්ලේ හදල තියෙන අල සෝදන යන්ත්‍රය, අඹරන යන්ත්‍ර, පිටිකරන, පෙරන, වේළන, කලවම් කරන, ඇසුරුම් කරන සියලුම යන්ත්‍ර මගේ දැනුමෙන් මමම හදපු ඒවා. අවසානයේ මම අලුත් නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඇරන් ගියා. රැකියා අවස්ථා ගණනාවක් හැදුවා.

ඊළඟ කාරණය තමයි දැනට ලංකාවට වසරකට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් මිලියන 1.18ක් පමණ ගෙන්වනවා. අපි දේශීය මඤ්ඤොක්කා පිටි ආහාරයට හුරු කළොත් රටේ ජාතික වියදමෙන් විශාල පංගුවක් ඉතිරි කරගන්න පුළුවන්. මේක අභියෝගයක්. අමාරුයි තමයි. මගේ කර්මාන්ත ශාලාවේ දවසකට පිටි කිලෝ 300 – 500ත් අතර ප්‍රමාණයක් හදන්න පුළුවන්. දළ වශයෙන් කිලෝ 400ක් කියල හිතුවොත්, අඩුම තරමේ ලංකාවේ හොඳින් වවන්න ඉඩකඩ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 200ක කර්මාන්ත ශාලා ආරම්භ කරල දෛනික නිෂ්පාදනය ටොන් 80ක් ගන්න පුළුවන්. වසරකට දින 340ක් වැඩ කළොත් ටොන් 27200ක්. දළ වශයෙන් එක් කර්මාන්තයක රැකියා අවස්ථා 20ක් සපිරෙනවා කියල හිතුවොත්, රැකියා අවස්ථා අඩුම තරමේ 4000ක්වත් රට පුරා සපිරෙනවා. තව වක්‍ර රැකියා. ගොවියාත් ආදායමක් ලබා ගන්නවා. තිරිඟු පිටි ආනයනයට වියදමේ ලොකු පංගුවක ඉතිරියක්. ඩොලර්වල ඉතිරියක්. මේක විදේශීය වෙළෙඳපොළට යවන්න පුළුවන්. එතකොට ඩොලර් ආදායමක්. ඉතිං අපි දුප්පත් ද? නෑ.

මේකේ තවත් දෙයක් තියෙනවා. මඤ්ඤොක්කාවලින් කරන පිෂ්ඨය. මේක වටිනා නිෂ්පාදනයක්. මේ පිෂ්ඨය (Cassava starch) වසරකට ලංකාවට ගෙන්වනවා කිලෝ ග්‍රෑම් මිලියන 1.8ක් (කිලෝ 1800000) මේවා ගෙන්වන්නේ ලංකාවේ ආහාර කර්මාන්තයට, කාඩ්බෝඩ්, කඩදාසි, රෙදිපිළි, ගම්(මැලියම්) වැනි කර්මාන්තවලට උපකාරක අමුද්‍රව්‍යයක් විදිහට. මේ පිෂ්ඨය භාවිත කරල ග්ලූකෝස්, බීම වර්ග, සව් වැනි බොහෝ නිෂ්පාදන හදන්න පුළුවන්. ලෝකයේ රටවල් ගණනාවක් සව් නිෂ්පාදනය කරනවා. මම ඒක මගේ කර්මාන්තයේ අත්හදා බැලුවා. අපිට හදන්න පුළුවන්. මේ පිෂ්ඨය විශේෂයෙන් ඖෂධ කර්මාන්තයට යොදා ගන්නවා. අපිට මේවා මෙහේ අපේම කර්මාන්ත ශාලාවක හදන්න පුලුවන්. මේක පිළිකා නාශක ආහාර සංස්කෘතියකට අත්වැලක්. ජාතික ආර්ථිකයට තල්ලුවක්. ග්‍රාමීය ආර්ථිකයට දිරිදීමක්. මේක සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන කරන්න පුළුවන්.

මේකට ලැබෙන්න ඕනෑ රාජ්‍ය අනුග්‍රහය. ජනමාධ්‍ය හරහා මේකට හොඳ ප්‍රසිද්ධියක් ලැබෙනවානම් මේ නිෂ්පාදනය ගැන මිනිස්සු දැනගන්නවා. අලුත් රැකියා උන්මාදයක් මාධ්‍ය හරහා ඇති කරන්න පුළුවන්.

team work Food Products හි කළමනාකාර අධ්‍යක්ෂ උපාලි බාලසූරිය මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ නව ආහාර සංස්කෘතියක් හා නව රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ඔහුගේ නිෂ්පාදන ආදර්ශය රාජ්‍ය මට්ටමින් ප්‍රයෝජනයට ගන්නා ලෙසයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව ජනතාවාදී රජයට තියෙන වුවමනාව හා සමපාත වූ ක්‍රියාමාර්ගයකට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් අවස්ථාව වෙන්කරන ලෙසයි.

දොන් ජයකොඩි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT