Monday, April 21, 2025
Home » ලකුණු 133ක විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකාව කලින්ම අවසන් පූර්ව වටයට
19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්

ලකුණු 133ක විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකාව කලින්ම අවසන් පූර්ව වටයට

by sachintha
December 2, 2024 1:24 am 0 comment

ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය සහ පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදවා ලකුණු 133ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වූහ.

‘බී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව පිටපිට ජයගත් දෙවැනි තරගය මෙය වන අතර, මේ සමඟ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. මේ පරාජය සමඟ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ඇෆ්ගනිස්තානයට සිදුවූයේ ක්‍රීඩා කළ තරග දෙකම පරාජය වීම හේතුවෙනි.

සාජාහිදී ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 243ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානයට ඕවර 28.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 112ක් පමණි.

නසිෆුල්ලා අමිරි ලකුණු 33ක් රැස් කරමින් ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, හම්සා ඛාන් ලකුණු 32ක් ඉනිමට එක් කළේය. ඇෆ්ගන් පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු බළඇණියෙන් අවස්ථාවක් නොලැබුණු අතර, අවසන් කඩුලු 5 ලකුණු 10ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු යැවීමේදී ප්‍රවීන් මනීෂ කඩුලු 3ක් බිඳ දැමූ අතර, විහස් තෙව්මික, විරාන් චමුදිත සහ නිව්ටන් රාන්ජිත්කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර බිඳ වැටුණු අතර, ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරාට එක්වූ ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 100ක සබඳතාවක් පිහිටුවමින් ඉනිම ගොඩනැඟීය. පන්දු 80කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 53ක් රැස් කර සිටි පුලිඳු දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුවද සෙසු පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ඉදිරියට ගෙනයෑමට ශාරුජන්ට හැකිවිය. ඔහු අවසන් ඕවරයේදී ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 132කින් ලකුණු 102ක් රැස් කර තිබුණේ හතරේ පහර 7ක් සමඟිනි. ඒ හේතුවෙන් පිට පිට දෙවැනි වරටත් තරගයේ වීරයා සම්මාන දිනා ගැනීමට ශාරුජන් සමත් වූ අතර, මේ තරගාවලියේ පළමු තරගයේදී නේපාලයට එරෙහිව ලකුණු 62ක් රැස් කරමින් ඔහු එම තරගයෙත් වීරයා විය.

පන්දු යැවීමේදී ඒ.එම්. ගසන්ෆර් කඩුලු 3ක් දවා ගත්තේය.

මේ අතර ඊයේ පැවති ‘බී’ කාණ්ඩයේ අනෙක් තරගයේදී පිටපිට දෙවැනි ජය වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් පිල සමත් වූ අතර, ඔවුන් ද අවසන් පූර්ව වටයට එක්විය.

ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ අවසන් තරගය හෙට (3) සහ බංග්ලාදේශයට එරෙහිව ඩුබායිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් පිල – 243/7 (ඕවර 50) ශාරුජන් ශන්මුගනාදන් 102, පුලිඳු පෙරේරා 53 (ඒ.එම්. ගසන්ෆර් 35/3)

ඇෆ්ගන් යොවුන් පිල – 112 (ඕවර 28.2) නසිෆුල්ලා අමිරි 33, හම්සා ඛාන් 32 (ප්‍රවීන් මනීෂ 16/3, විහස් තෙව්මික 10/2, විරාන් චමුදිත 14/2, නිව්ටන් රාන්ජිත්කුමාර් 28/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT