මාකොළ – රන්කෙත්යාය පාර ප්‍රදේශයේ නිවෙසක කොටසක් කුලී පදනම මත ලබා ගෙන එම කොටසේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය හොර ස්කාගාරයක් සපුගස්කන්ද පොලීසිය මඟින් ඉකුත් 29 වැනිදා දහවල් සාර්ථකව වටලා ඇත.
මෙහි තිබී රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් වටිනා ගෝඩා බැරල් 28ක් හා ලීටර් පන්දහසේ ෆයිබර් ටැංකි තුනක දමා තිබූ ගෝඩා මිලි ලීටර් විශාල ප්‍රමාණයක් සහ කසිප්පු බෝතල් 250ක් ද අත්අඩංගුවට ගැනිණි.
මීට අමතරව කසිප්පු පෙරීම සඳහා උපයෝගී කර ගන්නා යීස්ට් ග්‍රෑම්ස් 500යේ පැකට් 20ක්, සිනී, ගෑස් සිලින්ඩර් 04ක්, වතුර මෝටර් 02ක් හා ළිප් ඇතුළු පෙරීමේ උපකරණ රැසක් ද සොයා ගත්හ.
තවද මෙහි නිෂ්පාදනය කරන කසිප්පු ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් බවට සැකකරන යතුරු පැදියක් හා ඩිමෝ බට්ටා කුඩා ලොරි රථයක් ද හමුවී ඇත.
මීට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ද පොලිස් භාරයට ගන්නා ලදි.
එහි කොට්ඨාස බුද්ධි අංශයේ සැරයන් නිලධාරීයාට මෙම නිවෙස තුළ මහා පරිමාණයෙන් කසිප්පු පෙරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් එම නිවෙස වටලනවිට මේ පුද්ගලයින් තිදෙනා එහි කසිප්පු පෙරමින් ඉඳ තිබේ. මෙම නිවෙසේ කොටසක් මාසිකව රුපියල් තිස් දහස බැඟින් වූ කුලී පදනම මත ලබා ගෙන එම ජාවාරම දැනට මාස තුනක පමණ කාලයක සිටම සිදු කර ගෙන ගොස් තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගන්නා ලද මේ තිදෙනා මල්වාන, මාකොළ හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 40ත් 45ත් අතර වියේ පසුවන්නෝ වෙති.
මේ තිදෙනා සපුගස්කන්ද පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද මහතා විසින් මහර වැඩ බලන මහේස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් වරද පිළිගත් හෙයින් අද (02) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට පෙරේදා (30) නියම කරනු ලැබුවාය.
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිශාන්ත ජයවර්ධන හා කැලණිය සහකාර පොලිස් අධිකාරි ජී. ගුණතිලක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීමට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ, උප පොලිස් පරීක්ෂක ගුණරත්න, පොලිස් සැරයන්වරුන් වන අබේරත්න (19334), පෙරේරා (32560), තිලකරත්න (36589), පුෂ්පකුමාර (55713), ගුණසේකර (67646), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (85885), චතුරංග (31805), අතපත්තු (86137), උදුගොඩ (26487), සංකල්ප (101260), රූමේෂ් (99141), සංජීව (101965) හා ප්‍රසාද් (104477) යන නිලධාරීහු එක් වී සිටියහ.
මල්වාන සමූහ – මහානාම විතානගේ