මිරිදිය හා විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපාරය කොළඹ දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත කිරීම සඳහා හංවැල්ල නගර මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලය, බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන යාමට වගකිව යුතු නිලධාරීන් ගෙන ඇති තීරණය හේතුවෙන් තම විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපාර කටයුතු නැවත වාරයක් මන්දගාමී තත්ත්වයට පත් වනු ඇතැයි එම ව්‍යාපාරික ප්‍රජාව පවසති.
මීට වසර 15 – 20කට පමණ ඉහතදී ඉතාමත් සුළු වශයෙන් ආරම්භ කළ මෙම මත්ස්‍ය වගා ව්‍යාපාරය ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ අරමුණින්, එවකට මෙම අධිකාරියේ සිටි නිලධාරීන් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය ගොඩගම ප්‍රදේශයටත්, ඉන්පසු පාදුක්ක ප්‍රදේශයටත්, නැවත වාරයක් බත්තරමුල්ල ප්‍රදේශයටත් රැගෙන ගොස් මේ වන විට සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හංවැල්ල නගරයේ සීතාවක ප්‍රාදේශීය සභාව සතු ගොඩනැඟිල්ලක මාසික කුලී පදනම මත පවත්වාගෙන යන බව ගොවීහු පෙන්වා දෙති.
එහෙත් එම කාර්යාලය එම ස්ථානයෙන් පවත්වාගෙන යෑමට ගිවිසගෙන ඇති කාලය 2025 ජනවාරි 31 වන දිනෙන් අවසන් වන බවත්, මාසිකව ගෙවිය යුතු කුලිය, ජලය, විදුලිය, ආරක්ෂක කටයුතු සඳහා දළ වශයෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව දැන ගැනීමටත් ලැබී ඇතැයි එම ගොවීහු කියති. කොළඹ දිස්ත්‍රික් කාර්යාලය බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාල වකවානුවේදී විසිතුරු මත්ස්‍ය වගාවේ ඉතාමත් සුළු පිරිසක් නියැළුණත්, කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ එම ව්‍යාපාර කටයුතු සිදු කරන සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට රැගෙන ඒම නිසා මේ වන විට මෙම ක්ෂේත්‍රයේ 800ක් පමණ පිරිසක් සුළු හා මධ්‍ය පරිමාණයෙන් විසිතුරු මත්ස්‍ය වගාවේ නියැළෙන බව ඔවුහු සඳහන් කරති. කොළඹ දිස්ත්‍රික් කාර්යාලය නැවත වාරයක් නාගරික ප්‍රදේශයට රැගෙන ගියහොත් තම ව්‍යාපාර කටයුතුවලට විශාල තර්ජනයක් බව එම ජනතාව පවසති. මෙවැනි තත්ත්වයක් මත කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හංවැල්ල සහ පාදුක්ක ප්‍රදේශවල නැවත වාරයක් පවත්වාගෙන ගොස් තම ව්‍යාපාර කටයුතු රැක දෙන මෙන් ඔවුහු ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඇතුළු වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාදුක්ක විසිතුරු මත්ස්‍ය හා ජල ජීවී වගා සමිතියේ සභාපති, බිමල් හරේන්ද්‍ර ප්‍රීති කුමර මහතා මෙසේ පැවසීය.
“කොළඹ දිස්ත්‍රික් කාර්යාලය නාගරික ප්‍රදේශයකට රැගෙන යාම ඉතාමත් ගැටලුසහගතයි. පාදුක්ක කලාපය කියන්නේ විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපාර කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කරන ප්‍රදේශයක්. මෙම කාර්ය වෙනත් තැනකට රැගෙන ගියොත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කරගෙන යන අයට සහ ක්ෂේත්‍රයට පැමිණෙන නිලධාරීන්ටත් අපහසු වෙනවා.”
කොළඹ දිස්ත්‍රික් ජලජීවී වගාව ව්‍යාප්ත නිලධාරී සම්පත් දිසානායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කීය.
“මෙම කාර්යාලය තියෙන්න ඕනෑ සේවාදායකයින්ට පහසුව සඳහායි. ඒකයි මෙම කාර්යාලය මේ ප්‍රදේශයට රැගෙන ආවේ.
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා තිබූ ගිවිසුම් කාලය 2025 ජනවාරි මස 31 දිනට අවසන් වෙනවා. ගොඩනැඟිල්ලේ මාසික කුලිය වැඩි නිසා, අපිට මේ ගොඩනැඟිල්ල ප්‍රාදේශීය සභාවට භාර දෙන්න කියලා තියෙනවා. නමුත් මෙම කාර්යාලය ගෙනියන්නේ කොහාටද කියලා අපිට කියලා නැහැ. වෙන තැනක් හොයාගන්න කියලවත් කියලා නැහැ. ප්‍රධාන කාර්යාලයෙන් අපිට මොකද කරන්නේ කියලා තවම කියලත් නැහැ. මම මේ ගැන ප්‍රධාන කාර්යාලය දැනුම්වත් කරලා ගත යුතු ක්‍රියාමාර්ග දැනුම් දෙන්න කියලා ලිපියකුත් යවලා තිබෙනවා. තවම එයට උත්තරයක් ලැබුණෙත් නැහැ. මම හිතනවා ප්‍රධාන කාර්යාලයෙන් මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොකක්ද කියලා හොයයි කියලා.”
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ