Wednesday, April 23, 2025
Home » හමංගොඩ පවුල් 11ක 46ක් අවතැන් නිවෙසක් මුළුමනින්ම විනාශයි

හමංගොඩ පවුල් 11ක 46ක් අවතැන් නිවෙසක් මුළුමනින්ම විනාශයි

by sachintha
December 2, 2024 1:12 am 0 comment

කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ හමංගොඩ දකුණ ග්‍රාමසේවා වසමේ පිහිටි රිටිගහපෑල ගම්මානයේ නිවාස 11ක පදිංචිව සිටි පවුල් 11කට අයත් පුද්ගලයන් 46 දෙනකු ආරක්ෂාව පතා එම නිවෙස් හැර ගොස් ඇත. හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය විසින් කරනු ලැබූ දැනුම්දීමකට අනුව එම අවදානම් සහිත නිවාසවල සිටි පිරිස් ඉවත් වූ බවත්, එම පිරිස අතරින් පවුල් පහකට අයත් 20 දෙනකු පමණ ඔවුන්ගේ ඥාති නිවෙස් බලා ගොස් ඇති බවත්, පවුල් හයකට අයත් පුද්ගලයන් 26 දෙනකු හල්ලොලුව, සෙල්ලාවලි රජමහා විහාරයේ රැඳී සිටින බවත් හමංගොඩ දකුණ ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිනිය වන දිලුෂි රම්මුංගොඩ මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ, සෙල්ලාවලි රජමහා විහාරයේ රැඳී සිටින පිරිස අතරේ මාස හයක පමණ කුඩා දරුවකු සිටින බවත්, එම දරුවාට අවශ්‍ය කරන ආහාරපාන හා සනීපාරක්ෂක උපකරණ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් මොහාන් ධර්මදාස මහතා ඔහුගේ පෞද්ගලික මුදලින් සපයා දුන් බවත්ය. අවදානමට ලක්ව සිටින මෙම පවුල් අතරින් එක් පවුලක් පදිංචිව සිටි නිවෙසක හිමිකරු අප සමඟ කියා සිටියේ, ඉකුත් 28 වැනිදා රාත්‍රී නවයට පමණ නිවෙස පිටුපසින් ශබ්දයක් ඇසුණ නිසා නිවෙසේ සිටි තම බිරිය හා දරුවා සමඟ තමන් එම නිවෙස ආසන්නයේම පිහිටි ඥාති නිවෙසකට ගිය බවත්, ඔවුන් නිවෙසින් පිටත්ව ගොස් විනාඩි 15කට පමණ පසුව එම නිවෙසට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් නිවෙස මුළුමනින්ම විනාශයට පත් වූ බවත් ය. තමනුත්, තම බිරිය හා කුඩා දරුවාත් නිදාගන්නා ඇඳ මතට විශාල ගලක් පෙරළී ඇති බවත්, එම ගල පතිත වීමෙන් ඇඳ කුඩුපට්ටම් වී ඇති බවත්, තමන්ගේත් බිරියගේත් කුඩා දරුවාගේත් දිවි බේරුණේ හාස්කමින් වන්නට ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කටුගස්තොට සමූහ එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT