රත්කිඳ ජලාශයේ වාන් දොරටු ඇරියේ නිසි වගකීමකින්දැයි සොයන්න රජයට ඉල්ලීම්
පසුගිය සතියේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය, රත්කිඳ ජලාශයේ ජල මට්ටම ඉහළයාම නිසා එහි වාන් දොරටු සියල්ලම පසුගිය දා විවෘත කිරීමෙන් උල්හිටිය ඔයට මුදා හැරි අධික ජල කඳ නිසාවෙන් උල්හිටිය ඔය දෙපස වී වගා කර තිබූ අක්කර 300කට ආසන්න බිම් ප්‍රමාණයක පැළ ගොයම විනාශව ඇත.
සිදුවූ වගා හානි හා ජනතාව මුහුණපා ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම හා නිරීක්ෂණය කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පසුගියදා කටයුතු කරනු ලැබූ අතර, එහිදී ගොවීන් මන්ත්‍රීවරයා හට ප්‍රකාශ කර සිටියේ තමන්ගේ ගොබි බිම් අඩි කිහිපයක් උසට සම්පූර්ණයෙන්ම වැලිවලින් වැසී ඇති බවත් සමහර කුඹුරුවල විශාල වළවල් හෑරී නියර සේදී ගොස් කාන්තාර ලෙස දක්නට ලැබෙන බවත්ය.
එලෙස අයහපත් කාලගුණය හේතුවෙන් වැඩිම වශයෙන් හානි සිදුවී ඇත්තේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිරාඳුරුකෝට්ටේ, හොබරියාව ප්‍රදේශයේ පිහිටා තිබෙන FC 28 කෙත් ඇළෙහි වෙල්යායටයි. එහි කුඹුරු අක්කර 50කින් අක්කර 40කට ආසන්න බිම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති. වසර දෙක තුනකට වතාවක්ම උල්හිටිය නිවුන් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් තමන්ගේ ගොවි බිම් ජලයෙන් යටවී ඔවුන්ගේ ගොවිබිම්වලට දැඩි හානි සිදුවන බවත්, එයට කිසිදු බලධාරියකු හෝ රාජ්‍ය නිලධාරියකු නිසි අවධානය යොමු නොකරන බවටත් එහිදී ගොවීහු චෝදනා කළහ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සිදුවූ හානි නිරීක්ෂණයෙන් අනතුරුව මෙසේ පැවැසීය “ජලය නිසි කළමනාකාරීත්වයකින් මුදා හැරියේ නම් මෙතරම් විනාශයක් නොවෙන්න තිබුණා. පැය 4 – 5ක් ඇතුළත පෙර පැවති තත්ත්වයට පත්වුණානම් ඒකෙන් කියන්නේ ජලාශයේ දොරටු ඇරීමේ අක්‍රමිකතාවක් තිබුණා වෙන්න පුළුවන් කියන එකයි. මේ සිදුවෙලා තියෙන හානිය මිල කරන්න බෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන. වන්දි ගෙවලා නිම කරන්න බැරි තරම් විශාල හානි සිදුවෙලා තියෙනවා.
විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යතුමන් හට අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. මේ විදිහට දිගින් දිගටම මෙම ගැටලුවට ගොවීන් මුහුණ දෙනවානම් වෙනත් ප්‍රදේශවල ඉඩම් මේ ගොවීන් හට ලබා දෙන්න කියලත් අපි ඉල්ලීමක් කරනවා.
මේවා නිසි ලෙස නිලධාරීන් ක්‍රියාත්මක නොවීම නිසා සිදුවෙන දේවල්. සමහරවිට පවතින රජය අපහසුතාවට පත්කිරීම මුල්කොටගෙන ගත්ත ක්‍රියාමාර්ගයක් තරමටම, ගම්වාසීන් පවා ඒ ප්‍රශ්නය මතුකර සිටිනවා. ඉතාමත් කාරුණිකව ගොවියන්ගේ පැත්තේ ඉඳලා අපි ඉල්ලීමක් කරනවා. මේ ප්‍රශ්නයට අදාළව සාධාරණ පරීක්ෂණයක් සිද්ධ කරන්න ඕන කියලා.”
මාපාකඩවැව සමූහ – එච්.එම්. රංජිත් කරුණාවීර