යළි සකසන්න සාධාරණ වන්දි මුදලක් දෙන්න
පීඩාවට පත් ගොවීහු රජයෙන් ඉල්ලති
උල්හිටිය මහවැලි ජලාශය පිටාර ගැලීමෙන් ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ඨාසයේ කුඹුරු යායවල් රැසකටම හානි සිදුවිය. විශේෂයෙන්ම හොබරියාව, උල්හිටිය, තෙල්දෙණියාය හා දිවුලපැලැස්ස යන ඒකකයන්හි කුඹුරුවලට දැඩි ලෙස හානි සිදු වූ අතර එම ගොවීහු පවසන්නේ, බැංකුවලට ණය වීමෙන් හා කනකර පමණක් නොව දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ පවා උකස් කොට ලබා ගත් මුදල් හා ශ්‍රමය වැය කොට වපුරාගත් කුඹුරු විනාශ වී යාමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයට පත්වූ බවයි.
කුඹුරු බිම්වල පස් තට්ටු පිටින් සෝදාගෙන ගොස් ඇති අතර අඩි 4ක් 5ක් පමණ ඉහළට වැලි කඳු ගොඩ ගැසී තිබේ. ගොයම් පැළ තිබූ බවට සාක්ෂියක්වත් ඉතිරි වී නොමැත. කුඹුරු මැද තැනින් තැන විශාල වළවල් හෑරී වතුර පිරී ඇති අතර සිදු වී ඇති හානි මෙතෙක් තක්සේරු කර නොමැත. වැලි කඳු ඉවත් කොට කුඹුරුවල ලියදි යථා තත්ත්වයට පත් කර ගැනීම ද පහසු කටයුත්තක් නොවේ.
මෙම කලාපයට වැසි සමය ආරම්භ වන්නේ දෙසැම්බර් සිට ජනවාරි කාල සීමාවේදී ය. තවම එම වැසි ආරම්භ වී නොමැති නමුත් එම වැසිවලින් ද හානි වන්නේ මෙම කුඹුරුවලටම ය. මෙසේ ගොඩ ගැසී ඇති වැලි කඳු ඉවත් කොට වගා කිරීමට සුදුසු පරිදි කුඹුරු සකස්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත්, සාධාරණ
වන්දි මුදලක් ලබා දෙන ලෙසත් පීඩනයට පත් ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
හොබරියාව, ඩී 4 විහාරස්ථානයට ආසන්න කුඹුරු යායට වැඩම කළ එම විහාරස්ථානාධිපති හිමි වැලි කඳු හා විනාශ වී ගිය කුඹුරු යාය නිරීක්ෂණය කරන අයුරු මෙහි දැක්වේ.
ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමර ගුණරත්න