Home » සිවු හැවිරිදි දැරිය ගිනි පෙනෙල්ලෙන් පිලිස්සූ කත රිමාන්ඩ්

සිවු හැවිරිදි දැරිය ගිනි පෙනෙල්ලෙන් පිලිස්සූ කත රිමාන්ඩ්

-මව විදේශයේ සිට පොලීසියට ඇමතුම් දීලා

by sachintha
December 2, 2024 2:13 am 0 comment

 

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වතුයායේ පදිංචි සිවු හැවිරිදි දැරියක් ගිනි පෙනෙල්ලකින් පිලිස්සූ බව කියන කාන්තාවක් හෙට (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් කේ. විනයාගමුර්ති මහතා පෙරේදා (30) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකි.

පිලිස්සීමට ලක් වූ දැරිය සහ ඇයගේ අවු 14ක් වයසැති වැඩිමහල් සොහොයුරිය හෙට (03) දින දක්වා හැටන් ළමා නිවාසයට භාරදෙන ලෙසත්, යළිත් එම දැරියන් දෙදෙනා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

පිලිස්සීමට ලක් වූ දැරියගේ මව විදේශ රැකියාවක නිරතව සිටින බවත්, දැරියගේ පියා මවගෙන් වෙන්වී වෙනත් විවාහයක් සිදුකරගෙන එම වතුයායේම පදිංචි වී සිටින බවටත් බගවන්තලාව පොලීසිය සිද්ධියට අදාළව කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

පිලිස්සීමට ලක් වූ දැරිය සහ වැඩිමහල් දියණිය ඇගේ විදේශගත මව විසින් මිත්තණිය වෙත භාර දී ඇති බවත්, දැනට මාස හයකට පෙර එම තැනැත්තිය මියයාමෙන් පසු අසල්වාසි කාන්තාවක එම දැරියන් දෙදෙනා රැක බලාගෙන ඇති බවත් පොලීසිය කියයි.

තමන්ව රැක බලාගන්නා කාන්තාව තමන්ට සහ නැඟණියට වදහිංසා පමුණවා නැඟණියව ගිනි පෙනෙල්ලකින් පිලිස්සු බවට වැඩිමහල් දියණිය දුරකතනය ඔස්සේ විදේශගත මවට ඇමතුමක් ලබාගෙන පැවසීමෙන් අනතුරුව එම මව ඒ පිළිබඳව බගවන්තලාව පොලීසියේ ළමා සහ කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. ඒ අනුව පොලීසියේ නිලධාරින් දැරියන් දෙදෙනා සිය භාරයට ගෙන දික්ඔය මූලික රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබා දී රෝහලෙන් බැහැර කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විණි.

බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මදුසංඛ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති.

 

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT