Wednesday, April 23, 2025
Home » පෞද්ගලික රක්ෂණ සමාගමක කළමනාකරු රිමාන්ඩ්
විදුලි සර වද්දවා දීඝදන්තු ඝාතනය

පෞද්ගලික රක්ෂණ සමාගමක කළමනාකරු රිමාන්ඩ්

-උදරයේ තිබී දහයෙ කාසියකුත් හමුවෙයි

by sachintha
December 2, 2024 3:11 am 0 comment

කලා වැව, කහල්ල, පල්ලෙකැලේ අභය භූමියේ සැරිසරමින් සිටි දීඝදන්තු එක නමින් දෙස් විදෙස් වශයෙන් ප්‍රචලිත දළ ඇතාට විදුලි සර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම වන ජීවී කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක කැකිරාව ශාඛාවේ කළමනාකරුවකු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් ගැමුණු දිසානායක මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ ගල්කිරියාගම, හිඟුරුවැව ලිපිනයේ පදිංචි උපුල් ප්‍රියන්ත බණ්ඩාර නමැත්තෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ගල්කිරියාගම වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රසන්ත විජේකෝන් මහතා සඳහන් කළේ සැකකරු අදාළ ඇතා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන අනවසර විදුලි රැහැන් සහ මෝටර් රථ බැටරියක් සහ විදුලි පරිපථයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වන ජීවී නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීය.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියන් සභාපතිත්වය දරන “ස්වභාව ධර්මයට සහ වන සතුන්ට යුක්තිය උදෙසා” සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා දීඝදන්තු එක හස්තියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ මේ ඝාතනයෙන් අහිමි වූයේ දළ හස්තියා පමණක් නොව මේ රටට එන ඩොලර් ආදායම බවයි.

ඊට හේතුව මේ දළ ඇතා දැක බලා ගැනීම සඳහාම විදේශකයන් මෙරටට පැමිණෙන බවත්, මෑත කාලයේ මෙලෙසම විදුලි සර වද්දවා සහ වෙඩි තබා මෙවැනි ඇතුන් රැසක් ඝාතනය කර ඇති බවත් නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

දීඝදන්තුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා තහවුරු කර ඇත්තේ අධික විදුලිසර ශරීරයේ ස්පර්ශ වීමෙන් හෘදය වස්තුවට ඇති වූ කම්පන හේතුවෙන් මේ දළ ඇතා මිය ගොස් ඇති බවත්, ඇතාගේ උදරයේ තිබී රුපියල් දහයේ කාසියක් සොයා ගැනීමට හැකි වූ ඇති බවත්ය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ උදිත ඒකනායක මහතා අධිකරණයට දැනුම් දුන්නේ චේතනාන්විතවම අනවසරයෙන් විදුලි රැහැන් ඇද මේ දළ ඇතා ඝාතනය කළ බවට තම සේවාදායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව ඔහු ඕනෑම ඇප කොන්දේසියක් මත ඔහු මුදාහරින ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් ගැමුණු දිසානායක සැකකරු මේ මස 12 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද සහ අනුරාධපුර බී. ජී. චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT