හතක් මරුට ඒ අතර සිසුන් 5ක්-ට්‍රැක්ටරයේ රියැදුරු සහ තවත් අයෙක්
මියගිය අයකුට රු: 250,000ක වන්දියක්
කාෆිෆුල් උලුම් අරාබි මද්‍රසා පාසලේ විදුහල්පති සහ ගුරුවරුයා අද දක්වා රිමාන්ඩ්
ට්‍රැක්ටරයේ සහායකයන් දෙදෙනාට ඇප
දින කිහිපයක් පුරා අම්පාරට ඇදහැලුණු අනෝරා වැස්ස ප්‍රදේශයේ ජනතාවට ගෙන දුන්නේ මහත් හිරිහැරයකි. නොකඩවා වැටෙන වැස්ස නිසා ඇළදොළ පිරී ඉතිරී මංමාවත් යටවීමෙන් ගමනාගමනයට ද ඇතිවූයේ විශාල බාධාවකි.
අම්පාරේ ප්‍රධාන මාර්ග වන ඉඟිනියාගල, කල්මුණේ, මහනුවර, අක්කරපත්තුව ජලයෙන් යටවීම නිසා අම්පාර නගරය තාවකාලික දූපතක් බවට පත්ව තිබුණි. අම්පාර දිස්ත්‍රික්කයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි දරුවන් ද දැඩි අපහසුතාවට පත්විය. ඉකුත් 26 වැනිදා එම දරුවන්ට පාසල් වෙත යෑමට ආරක්ෂක අංශවලින් ලබා දුන්නේ නොමසුරු ආධාරයකි.
ඉඟිනියාගල මාර්ගය මෙන්ම අම්පාර – කල්මුණේ මාර්ගය ද ජලයෙන් යටවී තිබිණී. අම්පාර, කාර්තිව් හන්දියෙන් ජනතාවට ගමන් කිරීමට නොහැකි වුවත් මේ ස්ථානයෙන් ජනතාවට ගමන් කිරීමට ට්‍රැක්ටර් මඟින් ප්‍රවාහන පහසුකම් සැපයිණි.
පසුගිය දිනෙක කාගේත් කතාබහට ලක්වූ නින්දවුර් ප්‍රදේශයේ කාෆිෆුල් උලුම් අරාබි මද්‍රසා පාසලට යන පාර ද ජලයෙන් යට විය. අධික වැස්ස නිසා එහි දරුවන් තබාගැනීමට අපහසු බැවින් ඔවුන් නිවෙස් කරා පිටත් කර යැවීමට එහි විදුහල්පති මොහමඩ් තස්ලිම් මොහමඩ් අස්ලිම් මහතා ඇතුළු ඇඳුරු මඩුල්ල තීරණය කර තිබුණේ මේ අයහපත් කාලගුණය එන්න එන්නම වැඩි වන බැවිනි.
ඒ අනුව නින්දවුර් මද්‍රසා පාසලට බස් රථයක් ගෙන්වා ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනා කාර්තිව් දක්වා එම බස් රථයෙන් ගමන් කර, පාසලේ දරුවන් 11 දෙනකු ට්‍රැක්ටරයට නංවා නිවෙස්වලට යවා තිබේ.
සුළු වේලාවකින් මේ ට්‍රැක්ටරයට දරුවන් 11 දෙනාට අමතරව තවත් 15 දෙනකුද නැඟ තිබේ. යතුරු පැදි දෙකක් ද ට්‍රැක්ටරයට පටවාගෙන සෙමින් සෙමින් මාවාඩ් පල්ලිය මාර්ගයේ ජල කඳ හරහා සමන්තුරේ ප්‍රදේශයට ධාවනය කර තිබිණි. මේ වනවිට වේලාව පස්වරු 5.30 පමණ වී තිබුණත් මුළු ප්‍රදේශයම වැහි අඳුරින් වැසී තිබිණි.
දිවා කාලයේ ඇති වූ මහා වර්ෂාව නිසා මාවඩි පල්ලිය ප්‍රදේශයට කිසිවකු නොසිතූ ලෙස විශාල ජල කඳක් එක්වී තිබිණි. මේ කිසිවක් ගණන් නොගත් ට්‍රැක්ටර් රියැදුරු, දරුවන් සහ අනෙක් පිරිස සමඟ ට්‍රැක්ටරය ධාවනය කරමින් සිටියදී සැඩ පහරට හසුවී ට්‍රැක්ටරය ගසාගෙන ගොස් පැත්තට පෙරළී ගියේය.
දරුවන් ඇතුළු පිරිස මහ හයියෙන් මරලතෝනි දෙන්නට වූහ. එහි පිරිසක් පිහිනා ගොස් ජීවිතය බේරා ගැනීමට කටයුතු කළද මද්‍රසා පාසලේ දරුවෝ ජලයේ ගසාගෙන ගියහ. සිද්ධිය සැලවූ විගස ගොඩබිම සුදානම් කර තිබු බෝට්ටුවලින් නාවික හමුදාව, පොලීසිය සහ අවට වැසියන්, ට්‍රැක්ටරය පෙරළී තිබූ ස්ථානයට පැමිණ සිසුන් 05 දෙනකු බේරා ගැනීමට කටයුතු කළද අනිත් පිරිස ඒ වනවිටත් මහ ජලකඳේ සැඟවී ගොස් හමාරය.
මේ සිද්ධිය සැලවීමත් සමඟම සමන්තුරේ ගම්මානයම එකම මළගෙයක් බවට පත්විය. තම දරුවන් සොයා මවුපියෝ කාර්තිව් දෙසට පැමිණෙන්නට වූහ. රාත්‍රි කාලය එළැඹීමත් සමඟම දරුවන් සෙවීමේ මෙහෙයුම නවතා පසු දින ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, ශ්‍රී ලංකා යුද හමුදාව සහ අවට ගම්වැසියන් එක්ව බෝට්ටු යොදා ගනිමින් අතුරුදන් වූ අය සෙවීම ආරම්භ කළහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවෙන් ද මෙහෙයුම් සිදු කළ අතර, ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් මාවඩි පල්ලිය අවට මෙහෙයුම් සිදු කළහ. ඒ අනුව ඉකුත් 29 වැනිදා උදෑසන වනවිට අතුරුදන්ව සිටි එක් දරුවකුගේ මළ සිරුරක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකිවිය. එම සිරුර සමන්තුරේ පදිංචි මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ මොහමඩ් නාසික්ගේ බවට හඳුනා ගැනිණි.
මේ අනතුරින් දිවි බේරා ගත් නින්දවුර් මද්‍රසා පාසලේ එෆ්. එම්. මිල්හාන් සිසුවා මෙසේ කීය:
“හවස 3.30ට විතර මද්‍රසා පාසලේ ඉඳලා කාර්තිව් වෙනකම් අපි බස් එකේ ආවේ. හවස 3.30යි වෙලාව. බහින්න ළංවෙද්දී ළඟ ඉන්න අය කිව්වා, ට්‍රැක්ටර්වලින් මිනිස්සු ගෙනියනවා කියලා. අපි එකොළොස් දෙනාත් ට්‍රැක්ටරයට නැග්ගා. ටික දුරක් යද්දී ට්‍රැක්ටරයේ ඉස්සරහ රෝදය ගංවතුර නිසා පැත්තකට පෙරළුණා. පිටිපස්සේ අය ඔක්කොම වතුරට වැටුණා. ඊට පස්සේ මුළු ට්‍රැක්ටරයම ගිලුණා. එහා පැත්තෙ අයියා කෙනෙක් ඇවිත් දෙන්නෙක්ව ඇදලා ගත්තා. මම එතැනින් ඉස්සරහටම ගහගෙන ගිහින් ළඟ තිබුණ ගහක් අල්ලා ගත්තා. ඊට පස්සේ ගහට නැග්ගා. බෝට්ටුවක් ළඟට ආවා. මම කෑ ගැහුවා. ඇහුණේ නෑ. දෙවැනි පාර රවුමක් ගහලා බෝට්ටුව ආයෙත් එද්දී මම කෑගහලා අත වැනුවා. ඊට පස්සේ තමයි ඒ කට්ටිය මාව දැක්කේ. මාව බෝට්ටුවට දාගත්තා. මම වෙච්ච දේ කිව්වාම එයාලා ගිහින් බැලුවා. එතකොටත් එක්කෙනෙක් ගහගෙන යනවා. ඒ ගොල්ලෝ මාව බෝට්ටුවෙන් කාර්තිව් කෝවිල ළඟට ගෙනත් දැම්මා.”
අනතුරින් මියගිය මොහමඩ් අන්සාර් සිසුවාගේ පියා වන මොහොමඩ් මහතා මෙසේ පැවසීය:
“මගේ පුතා මට නැති වුණා. මම ඒ වෙලාවේ කටාර්වල රැකියාව කරමින් හිටියේ. මම ලංකාවට ආවා. මට වුණ දේ හිතාගන්න බෑ. අපට දරුවා ගැන හරිම දුකයි. ඒත් මොනව කරන්න ද? මේක දෙවියන්ගේ කැමැත්ත කියලා හිතනවා. ගංවතුර වෙලාවේ කිසිම වාහනයකට යන්න දුන්නේ නැත්නම් මේ වගේ දෙයක් වෙන්නේ නෑ. වැස්ස නිසා පාසලට නිවාඩු දෙනවා කියලා මද්‍රසා පාසලේ විදුහල්පති මැසේජ් දාලා තිබ්බා. දරුවන් බස් එකේ අරගෙන ආවත් මාවඩි පල්ලියෙන් එහාට බස් එක නොගිය නිසා තමයි දරුවෝ ට්‍රැක්ටරයේ නැඟලා ඇවිත් තියෙන්නේ.”
අනතුරින් මරණයට පත් තවත් සිසුවකුගේ පියකු වූ මොහමදු අබුබකර් මහතා:
“මේ අනතුරින් මගේ පුතා මියගියා. වසර දෙකක් නින්දවුර් මද්‍රසා පාසලේ ඉගෙන ගන්නවා. ඒත් මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. නමුත් අපි හිතපු නැති විදියට මගේ පුතා මට අහිමි වුණා. ඒක අපේ වෙලාව කියලා තමයි කියන්න තියෙන්නේ. විදුහලේ විදුහල්පති උත්සාහ කරලා තියෙන්නේ දරුවන් ගෙදර එවන්න.”
අනතුරින් මරණයට පත් තවත් සිසුවකුගේ පියකු වන ඒ. එච්. එම්. තාහිර් මහතා
“මගේ පුතාත් මේ අනතුරින් මියගියා. අවසානයේ සොයා ගත්තේ මගේ පුතා. අපි දුක් වුණාට මොනවා කරන්න ද. ඉපදෙන අපි ඔක්කොම මැරෙනවා. දෙවියෝ ඒ අයට ජීවත් වෙන්න දුන්න කාලේ ඉවරයි. අපි ජීවත් වෙනකල් අනිත් සියලු දෙනාටම උදව් කරලා මනුස්සයෝ වශයෙන් ජීවත් වෙන්න ඕනේ. නැති අයට උදව් කරන්න ඕනේ. අපේ ආගමේ කියලා තියෙන්නේ එහෙමයි.”
මරණයට පත් තවත් අයකුගේ පියකු වන ඒ. එල්. සේනුලාබිදීන් මහතා
“මගේ දුව බැඳලා හිටපු බෑනා මේ අනතුරින් මියගියා. එයා වැඩ කළේ පාන්ඩිරුප්පු දුම් වාර්තා ගන්න තැනක. වැස්ස නිසා යාළුවෙක් බයික් එකක කාර්තිව් දක්වා ගෙනත් දාලා තියෙනවා. එතැනින් එන්න එකක් නැතිව ඉන්නකොට තමයි මේ ට්‍රැක්ටරයට නැඟලා තියෙන්නේ. මෙයා පීනන්න පුළුවන්. ට්‍රැක්ටරය පෙරළෙනකොට මෙයාට මොනවාහරි වෙන්න ඇති. මගේ බෑනාට එක පුතෙක් ඉන්නවා. අපි ඉන්නේ හරිම දුකෙන්.”
අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා
“අධික වැස්ස නිසා ට්‍රැක්ටරය පෙරළීමෙන් මියගිය අය වෙනුවෙන් එක් අයකුට රුපියල් 250,000 බැඟින් ගෙවනවා. දැනට අපි අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් 25,000ක් ගෙවීමට පියවර ගත්තා. ගංවතුර දැන් අඩු වෙලා ගිහින් තියෙනවා. සියලුම අනාථ කඳවුරු ඉවත් කර තියෙන්නේ. ආපදවලට ලක්වූ ප්‍රදේශවල මාර්ග කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නවා.”
මේ අතර නැඟෙනහිර ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා ද විපතට පත්වූ පවුල් වෙත ගොස් සිය ශෝකය පළ කළ අතර, විපතට පත් ප්‍රදේශවල ද සංචාරය කළේය.
මේ සිදුවීම පිළිබඳව නැඟෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නියෝගය මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්. ජයපත්ම මහතා විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබීය.
මේ සිදුවීම පිළිබඳව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්. ජයපත්ම මහතාගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එම පරීක්ෂණය අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. රුවන් ජිනේන්ද්‍ර ඩයස් මහතා විසින් සිදු කර සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ විදුහල්පති මොහමඩ් තස්ලිම් මොහමඩ් අස්ලිම්, එම විදුහලේ ගුරුවරයකු වන තව්පික් මොහමඩ් නලීම් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයන් ලෙස කටයුතු කළ අබ්දුල් හමීඩි මොහමඩ් අහදීර් සහ මුහම්මදු මහරුප් මුහම්මදු හකිල් අප්නාන් යන සිවු දෙනයි.
අත්අඩංගුවට ගත් මේ පිරිස සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමන්තුරේ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ. එල්.සබිර් අහමඩ් මහතා විසින් අරාබි පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා අද (02) දක්වා රිමාන්ඩ් කර තිබෙන අතර, ට්‍රැක්ටරයේ සහායකයන් ලෙස කටයුතු කළ දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබීය.
නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්. ජයපත්ම මහතාගේ මෙහෙයවීමෙන්, කල්මුණේ සහකාර පොලිස් අධිකාරි ලසන්ත බුද්ධික මහතාගේ අධීක්ෂණය යටතේ, අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. රුවන් ජිනේන්ද්‍ර ඩයස්, සමන්තුරේ පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලත් සුරවීර, කාර්තිව් වැඩ බලන පොලිස් ස්ථානාධිපති උපුල් කුමාර ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දිගාමඬුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල