චීනයට වත්මන් ආණ්ඩුව සමඟ වඩා සමීපව වැඩ කිරීමට හැකියාව ඇතැයි තමන් වහන්සේ තුළ විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.
හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය කාලයේදී චීනයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ බවත් ඉදිරියටත් එම සහයෝගය මෙරට ජනතාව අපේක්ෂා කරන බවත් උන් වහන්සේ කීහ.
මල්වතු මහනාහිමියන් එසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පෙරේදා (30) පස්වරුවේ මල්වතු මහා විහාරයට ගොස් උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
චීනය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සම්බන්ධතාව දේශපාලනික මෙන්ම ආගමික වශයෙන් ද ඉතා වැදගත් එකක් බව ද මහනාහිමියෝ පැවසූහ.
මෙතෙක් බලයේ සිටි සෑම රජයක් සමඟ චීනය ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා සහාය ලබාදුන් බව මෙහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
දෙරටේ මිතුදම වර්ධනය වීමට බෞද්ධ භික්ෂුන් වහන්සේ ලබාදෙන ආශිර්වාදය ද ඉතා වැදගත් යැයි ඒ මහතා කීය. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ චීනය අත්සන් කිරීමට යෝජිත නව වෙළෙඳ ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් අත්වනු ඇතැයි පැවසුවේය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සුහදතාව බිඳ දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙනයන බවත් ඒ මහතා කීය.
පෝට් සිටියට ඇතුළු වීමට චීනයෙන් වීසා ලබාගත යුතු බවට වැරදි ප්‍රචාර ගෙනයන බවත් එය ශ්‍රී ලංකාවේ පෝට් සිටිය මිස චීනයේ පෝට් සිටිය නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම ව්‍යාජ තොරතුරු නිසා සමාජය තුළ ඇති වන වැරදි වැටහීම නැති කිරීමට මාධ්‍යයට විශාල කාර්යභාරයක් පැවරෙන බව ද චීන තානාපතිවරයා පැවසුවේය.
අසේල කුරුළුවංශ