Home » පොල්ගස්ඕවිට ගරාජයක කොටස් එකලස් කර හැදූ ලෑන්ඩ් රෝවර් ජීප් රථයක්

පොල්ගස්ඕවිට ගරාජයක කොටස් එකලස් කර හැදූ ලෑන්ඩ් රෝවර් ජීප් රථයක්

-විහාරාධිපති හිමිනමක් කොටස් ගෙන දුන් බව ගරාජ් හිමිකරු කියයි

by sachintha
December 2, 2024 1:45 am 0 comment

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී පෙරේදා (30) සොයාගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර එකහමාරකට පමණ ඉහතදී එම ජීප් රථය මහරගම පොලිස් වසමේ අපේක්ෂා බෝධි විහාරාධිපති හේනගම ධම්මදාන හිමියන් විසින් ලෑන්ඩ් රොවර් වර්ගයේ ජීප් රථයක චැසියක්, ටයර් හතරක් සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවට ප්‍රකාශ කළ බව පොලීසිය කියයි.

අනතුරුව වරින්වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් ගෙනත් දුන් බවත් පසුව මාරවිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ දාහතරහමාරක මුදලකට එන්ජිමක් ගෙනත් දුන් බවත් එම එන්ජිම මේ වන විට මෙම ජීප් රථයට සවි කර ඇති බවට වැඩිදුරටත් පොලීසිය සඳහන් කරයි.

ඊට අමතරව එම ජීප් රථයේ බව කියමින් ලියාපදිංචි සහතිකයක ඡායාරූපයක් ජංගම දුරකතනයක සටහන්ව තිබියදී වාහන අලුත්විඩියා කරන ස්ථානයේ හිමිකරු ඉදිරිපත් කළ බවත් එය කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුගේ නම, ලිපිනය සඳහන්ව ඇති බවත් පොලීසිය කියයි.

ගරාජ් සේවකයාගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව ද පොලීසිය සඳහන් කරයි.

අදාළ නීති විරෝධී කොටස් එකලස් කරන ලද මෝටර් රථයේ කොටස් විටින් විට වාහන අලුත්වැඩියා කරන ස්ථානයට ලබා දුන් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ හේනගම ධම්මදාන හිමියන්ට අද (02) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් පණිවිඩයක් ද නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නීති විරෝධී කොටස් එකලස් කරන ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලීසියට භාර දී ඇත.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, පොලිස් අධිකාරි රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක එම්.එච්.පී. රන්දිම මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT