Wednesday, April 23, 2025
Home » පලස්තීනයට නිදහස දීම වෙනුවෙන් අප එක්විය යුතුයි

පලස්තීනයට නිදහස දීම වෙනුවෙන් අප එක්විය යුතුයි

-හිටපු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්

by sachintha
December 2, 2024 2:59 am 0 comment

පලස්තීනයට නිදහස දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප දේශපාලන පක්ෂ, පාට භේදයෙන් තොරව එක් විය යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඔහු පාර්ලිමේන්තුව තුළ සිදු කරන ලද කතා එකතුවක් ලෙස සකස් කරන ලද ‘පලස්තීනය’ කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ මධ්‍යස්ථානයේ ඉකුත්දා (28) පැවති උත්සවයේදීය.

ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“මේ පොත අද මේ වැදගත් දිනයේ මේ සම්භාවනීය පිරිස ඉදිරියේ එළිදක්වන්නට අවස්ථාව දීම ගැන සියලු දෙනාට ස්තූතිය පුද කරනවා. පාර්ලිමේන්තුවේදී පලස්තීනය ගැන පැවැත්වූ කතා තමයි මේ පොතේ අන්තර්ගතවී ඇත්තේ. සිංහලෙන් පැවැත්වූ කතා එමෙන්ම ඉංග්‍රීසියෙන් සිදු කළ උපුටා දැක්වීම් ද මෙහි දක්වා තිබෙනවා.

අද මේ පොත එළිදක්වන්නේ සුපුරුදු ලෙසින් අපි අවුරුදු පතා සමරන පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන්. සුපුරුදු ලෙසින් අපේ රටේ සහයෝගීතාව පළ කර සිටින්නේ නිදහස සඳහා වූ අරගලයේ ඉතාම වේදනාසහගත කඩඉමක් පසු කරමින් සිටින මොහොතක.

අද අපි ගාසාවල දකින්නේ අමානුෂික තත්ත්වයේ උච්චතම අවස්ථාවක්. එහි සිදු වන සිදුවීම් අපි සජීවීව විද්‍යුත් මාධ්‍යයෙන්, රූපවාහිනියෙන්, සමාජ මාධ්‍යයෙන් දකිනවා. රෝහල්වලට අමුඅමුවේ බෝම්බ වැසි වස්සවා මවුවරුන්, අසාධ්‍ය රෝගීන්, දරුවන් සමඟ ඒවා පොළොවට සමතලා කරන හැටි අපි සජීවීව දකිනවා. පාසල්වල දරුවන්ට බෝම්බ වැසි වස්සවා අළු දූවිලි බවට පත් කරන හැටි අපේ ඇස්වලින් දකිනවා. ක්‍රිකට් තරගයක ප්‍රතිඵල නිකුත් කරනවා වගේ පලස්තීන භූමියේ ඝාතනය වන පිරිස්වල සංඛ්‍යාව අපි දිනපතා ප්‍රවෘත්තිවලින් දකිනවා.ජාත්‍යන්තර නීතියට ඇහුම්කන්දීමක් නෑ. අපි වගේ කුඩා රටවල ආරක්ෂාවට තිබෙන ජාත්‍යන්තර නීතිය ඒ ආරක්‍ෂාවට තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර අධිකරණය, මානව හිමිකම් කවුන්සිලය වගේ දේවල්වලට සවන්දීමක් නෑ.

හෙට දවසේ අපි වගේ පුංචි රටකට මේ වගේ අභියෝගයකට මුහුණදෙන්නට සිදු වුණොත් ආරක්ෂාවට සිටින එම ස්වාධීන ආයතනවලට, ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඒවා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලුම රටවල් එක්සත්ව පියවර ගැනීමේ වැදගත්කම මේ අවස්ථාවේදී මම අවධාරණය කරනවා. මේ තරම් දරුවන්, කාන්තාවන්, සිවිල් වැසියන් දිනපතාම සිය ගණනින් මිය පරලොව යැවීමේ මෙහෙයුම අපි අපේ ජීවිත කාලයේ දැක නෑ. 1960- 70 නොබැඳි ව්‍යාපාරය ඉතා බලවත්, ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස පැවැත්වුණා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුගෝස්ලෝවියාව වැනි රටවල් එහි පෙරමුණේ සිටියා. ඊට ලොකු බලපෑමක් එදා ජාත්‍යන්තර තලයේ තිබුණා.

දැන් වෙනසක් සිදුවීම ඇරඹී තිබෙනවා. සාධාරණත්වය වෙනුවෙන් ලෝකය පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වීදි බැසීම අපි දකිනවා. ලොව පුරා යුදෙව් ජාතිකයන් පවා ඒ අසාධාරණයට විරුද්ධව තමන්ගේ හඬ මතු කිරීම අපි දකිනවා. පසුගියදා ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුව ඊශ්‍රායල් ඇමැති කෙනකුට තහංචි පැනවීම අපි දැක්කා.

අමෙරිකාව, ඊශ්‍රායලය හැරෙන්නට යුරෝපා හවුල, කැනඩාව ඇතුළු ලෝකය පුරා සියලු රටවල් ජාත්‍යන්තර අධිකරණයට හිස නමන ලෙස හඬ නැඟීම දැන් ආරම්භ කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ හඬට අවසානයේදී හිස නමන්නට වූ ආකාරයෙන් ආක්‍රමණිකයන්ට පලස්තීනයේ නිදහස් සටනට ඇහුම්කන් දීමට සිදු වන දිනය ආසන්න වෙමින් පවතින බවට ලකුණු පහළ වෙමින් තිබෙනවා. බලාපොරොත්තුවේ රිදී රේඛා මතුවීමයි මේ ලෝක ජනමතයෙන් දැනට අපි දකිමින් සිටින්නේ.අපේ රටේ දේශපාලන නායකයන් ද සාධාරණත්වය වෙනුවෙන් හඬ නැඟීම ප්‍රබලව කළ යුතුව තිබෙනවා. ඒ තුළින් තමයි පලස්තීන භූමියට නිදහස් උදාකර ගැනීමේ දිනය ඉක්මන් කරගන්න පුළුවන් වෙන්නේ.”

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ආගමික නායකයන්, පලස්තීන සහයෝගීතා කමිටුවේ සභාපති ඇමැති බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පලස්තීන රජයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති ඉෂාම් අබුතා සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත මාර්ක් ඕන් රේ, විදේශීය තානාපතිවරු ඇතුළු පිරිස මේ අවස්ථාවට සහභාගී වූහ.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT